කුළියට පොල් කඩා දරුවන් 9ක් සහ බිරිය පෝෂණය කරන අපූරු පියෙක්

  👤  3292 readers have read this article !
By mawbima 2018-08-10

පොල් කඩා දරුවන් නව දෙනකු සහ ආදරණීය බිරිය ජීවත් කරවන අපූරු පියකු ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයේදී අපට හමුවිය.

ගලේවෙල දඹගස්හේන යටිගල්පොත්ත ලිපිනයේ පදිංචිව සිටින ප්‍රියන්ත වීරක්කොඩි (37) මහතා සහ ගයානි නිරෝෂනි දසනායක (37) යුවළට දරුවන් දස දෙනෙකි. එයින් එක් දරුවකු හදිසියේ මියගිය බව ඔවුහු කියති. දැනට නිවසේ පාසල් යන වයසේ දරුවන් අට දෙනකු සිටින අතර එක් දියණියක් වෙනත් ප්‍රදේශයක ළමා නිවාසයක දිවි ගෙවයි.

ළමා නිවාසයක ඇය රඳවා ඇත්තේ නවදෙනකු එකට සිටීම සුදුසු නොවන නිසා බව ඔවුහු කියති.

ප්‍රියන්ත වීරක්කොඩි මහතා මෙම දරුවන් ජීවත් කරවන්නේ පොල් කඩන රැකියාවෙනි. අඩුපාඩුකම්වලින් අනූන මෙම පවුලේ උදවිය දිනකට ආහාර ගන්නේ එක් වේලකි. එහෙත් මෙම නිවසේ සතුට පිරී ඉතිරී ඇති බව මෙම මවුපියෝ පවසති.

වැඩි මහලු පුතාගේ වයස අවුරුදු 13කි. බාලම දියණියට වයස අවුරුදු හතරකි. දරුවන් සියලු දෙනාම පාසල් සහ පෙරපාසල් යන්නේ දැඩි අපහසුතා මධ්‍යයේය. එමෙන්ම දියණියන්ට සහ මවට අඩුම තරමේ කනේ කරාබුවක්වත් නැත.

මෙම නිවෙසට අප යන අවස්ථාවේ ඔවුන් උදෑසන ආහාර ලෙස ලබාගෙන තිබුණේ රාත්‍රියේ ඉතිරි වූ බත් වීම තවත් විශේෂත්වයකි.

මෙම අපූරු සැමියා මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ බිරිය කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියකි. ආදර සම්බන්ධතාවකින් ඇරැඹි ඔවුන්ගේ යුග දිවිය තැන තැන නිවෙස්වල රැඳී සිටිමින් ගෙවා තිබේ. පසුව ගලේවෙල ප්‍රදේශයේ ස්ථානයකට පැමිණ බිරිය ඉතිරි කරගත් මුදලකින් කොටසක් ගෙවා කුඩා ඉඩම් කැබැල්ලක් ඔවුන්ටම කියා ලබාගෙන ඇත. එම ඉඩම ලබාගන්නා විට තිබූ අඩක් නිමවූ නිවසේ ඔවුහු ජීවත් වෙති.

ප්‍රදේශයේ ඇවිද යමින් පොල් ගස් නැඟ එයින් ලැබෙන ආදායමෙන් මෙම දරු පවුල ජීවත් කරවන වීරක්කොඩි අනේක දුක් විඳින පියෙකි. ඔහුගේ දෑත්වල සහ දෙපාවල ඇත්තේ පොල් ගස්වලින් මැදුණු රළු වූ අත් පාය.

දරුවන් දස දෙනාගේ පියා වූ ප්‍රියන්ත වීරක්කොඩි මහතා මෙසේ පැවැසීය.
"මට ළමයි දහ දෙනෙක් හිටියා. එයින් එක්කෙනෙක් නැතිවුණා හදිසියේ අසනීප වෙලා. තම ළමයි නව දෙනෙක් ඉන්නවා. දැන් ගෙදර ඉන්නේ දරුවෝ අට දෙනයි. එක දුවක් අපේ ගෙදර නැහැ. එයා වෙන තැනක නවත්තලා උගන්නනවා. මොකද අපිට ගොඩක් කරදර ආවා. කට්ටිය කිව්වා නවදෙනෙක් එක තැන ඉන්න හොඳ නෑ ඒ නිසා එක්කෙනෙක් වෙනත් තැනක තියලා උගන්වන්න කියලා. මගේ දුව අපි සියලු දෙනා වෙනුවෙන් වෙනත් තැනක ඉඳගෙන ඉගෙනීම් කටයුතු කරනවා


මම රස්සාවක් හැටියට කරන්නේ පොල් කඩන එක. මොකද වෙනත් රස්සාවක් කරන්න ගියාම දවසෙම එන්න හම්බවෙන්නෙ නෑ. වරුවක් විතර තමයි රස්සාව කරන්න පුළුවන් වෙන්නේ. මගේ නෝනට අසනීපයි. දරුවන් බලාගන්න එයාලට කන්න උයලා දෙන්න නාවන්න අවශ්‍ය නිසා ගොඩක් දුරට පොල් ටිකක් කඩලා හොයාගන්න මුදලින් දවසට එක වේලක් හරි කාලා දරුවන්ව ජීවත් කරවනවා."

අපි දෙන්නා හරිම අවබෝධයෙන් වැඩ කරනවා. ඒ වගේම අපි දෙන්නා හරිම ආදරෙන් දරුවොත් එක්ක ඉන්නේ බොහෝම සතුටෙන්. මං මගේ නෝනට පණටත් වඩා ආදරෙයි. මොකද මගේ එකම බලාපොරොත්තුව තිබුණේ දරුවෝ දහදෙනෙක් මෙලොවට බිහි කරන්න. ඒකට එයා උදවු කළා. අද එයා අසනීප වුණේ ඒ නිසයි.

"නෝනගේ පැත්තේ ඥාතීන් අපේ පැත්තේ ඥාතීන් කිසිම කෙනෙක් අපිට උදවු කරන්නේ නැහැ. අපි දෙන්නගෙ උත්සාහයෙන් තමයි අපි දෙන්නා ජීවත් වෙන්නේ. ඉන්න ගෙයක්වත් තිබුණෙ නැහැ. තැන තැන ඉඳලා අපේ නෝනා බඳින්න කලින් එකතු කර ගත්ත මුදල් ටිකක් තිබුණා. ඒ මුදල් ටික එකතු කරලා තමයි ගලේවෙල පැත්තෙන් අපි මේ ඉඩම ගත්තේ. ඒ ඉඩමේ තිබුණු පුංචි ගේ තමයි අපි දැන් ඉන්නේ. ඒ ඉඩම ගන්නකොට බාගෙට හදපු ගෙයක් තිබුණා. අපි හිතාගෙන ඉන්නේ මේ ගේ කොහොම හරි හදාගන්නයි.

"මම කොහොම හරි පොල් කඩලා මගේ දරු පවුල ආරක්ෂා කරනවා කියලා බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. කවුරුහරි මගේ දරුවන්ට ඉගෙන ගන්න ඇඳුම් පැලඳුම් ටිකක්, පොත්පත් ටිකක් දුන්නොත් මට හොඳටම ඇති. එක වේලක් ඇර වේලක් කාලා මට දරුවන්ට කන්න බොන්න දෙන්න පුළුවන්. මගේ එකම බලාපොරොත්තුව මේ දරුවෝ නම දෙනාම හොඳ පුරවැසියන් බවට පත්කරලා හොඳට උගන්නගන්න. ඊට පස්සේ මං දන්නවා මේ සමාජයේ එයාලා යමක් කරාවි කියලා."

දරුවන් දසදෙනකු මෙලොවට බිහිකළ මව වූ දයානි නිරෝෂණි මහත්මිය මෙසේ කීවාය.

"ඇත්තටම අපි දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වෙනවා. මහත්තයගෙ එකම බලාපොරොත්තුව වුණේ ගෙවල් හදන්න නෙවෙයි. ඉඩම් ගන්නත් නෙවෙයි. කොහොම හරි දරුවෝ දහදෙනෙක් හදලා ජීවත් වෙමු කියලා තමයි කිව්වේ. මමත් ඒකට කැමැති වුණා. ඇත්තටම අපි දවසට එක වේලක් වගේ තමයි කන්නේ. අපේ දරුවනුත් පුරුදු වෙලා ඉන්නවා ඒකට.

මේ ඔක්කොටම සපත්තු ගන්නත් බෑ. ඇඳුම් ගන්නත් බෑ. මහත්තයා පොල් කඩන්න ගියාම ඒ ගෙවල්වලින් අයින් කරන දරුවන්ගේ ඇඳුම් අරගෙන එනවා. අපේ දරුවො හිතන්නෙ ඒවා අලුත් ඒවා කියලා. මම හෝදල මැදලා ඒ අයට අන්දනවා. අවුරුදුවලට වගේ පොළට ගිහිල්ලා පරණ රෙදි ගොඩවල්වලින් රුපියල් පනහට සීයට තියෙන ඇඳුම් අරගෙන තමයි අන්දවන්නේ.

මම අසනීප වෙලා ඉන්නේ ඒ නිසා. මහත්තයා තමයි ගෙදර ‍ෙදාරේ ගොඩක් වැඩ කරන්නේ. එයා මට නාන්න වතුර එක පවා උණු කරලා දෙනවා. ගෙදර උයනවා.

පිහිනවා. දරුවන්ගෙ වැඩත් කරනවා. අපිට ලොකුම ගැටලුව බවට පත්වෙලා තියෙන්නේ දරුවන්ට උගන්නගන්න මුදල් නැතිකම. එයාලා ඔක්කොමලා හොඳට ඉගෙන ගන්න දක්ෂයි. පංගුවක් දවස්වලට බඩගින්නෙ ඉන්න නිසා ඉස්කෝලෙ යවන්නෙ නෑ. ඉස්කෝලෙන් කියන දේවල් ගෙනියන්න බැරි වුණාම ඉස්කෝලෙ යන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට ලොකුම දුකක් දැනෙන්නේ. වේලක් ඇර වේලක් හරි කන්න දෙන්න පුළුවන්.

ඒත් මේ තරගකාරී ඉගෙනුම් රටාව නිසා ඒ අයට අධ්‍යාපනයට අවශ්‍ය මුදල් ලබා දෙන්න විදිහක් නැහැ. දරුවන්ගේ අධ්‍යාපනයට කවුරුහරි උදවු කරවා නම් ලොකු දෙයක්. ඒ වගේම තමයි මගේ දුවලා තුන්දෙනාගෙ කන් විදලා තියෙනවා. තවමත් කරාඹුවක්වත් ඒ අය දැකලා නෑ. දාලත් නෑ. ඉතින් කන අතගගා ඉන්න වෙලාවට මම පැත්තකට වෙලා අඬනවා. මහත්තයට කියන්නෙත් නෑ. එයාට දුක හිතෙයි කියලා. ඒත් ඇත්ත හැමදාමත් හංගගෙන ඉන්න බැහැ. අපේ ජීවිත ගොඩක් අමාරුවෙන් තමයි ගොඩනඟා ගන්නේ. කොහොම හරි දරුවෝ නවදෙනා ලොකු මහත් වෙනකොට මේ ප්‍රශ්න ඇරිලා යයි කියලා අපි විශ්වාස කරනවා. හැබැයි ලොකු මහත් කරගන්න තමයි තියෙන අපහසුතාව. මොකද පුංචි දරුවන්ට අගහිඟකම් වැඩි වුණාම ඒ අය වෙනත් මාර්ගවල යයි කියලා මට ලොකු බයක් තියෙනවා. ඒ හැර මට වෙන බයක් නම් නැහැ. මගේ බාගෙට හදපු ගේ වැඩ ඉවර කරගන්න තිබ්බ නම් ඇති. මොකද දුවලා වැඩිවියට පත් වුණහම ඒ අයට ඉන්න තැනක් නැති නිසා."

මෙම කුඩා දරුවන්ට කුමන හෝ ආධාරයක් උපකාරයක් කිරීමට යම් කිසි කෙනකු ඉදිරිපත් වන්නේ නම් එය මහඟු පිනකි.

මේ පිරිසට උදව්වක් කරන්නේ නම් ලංකා බැංකුවේ ගලේවෙල ශාඛාවේ ගයානි නිරෝෂනී දසනායක නමින් ගිණුම් අංක 75889153ට බැර කළ හැකි අතර ඔවුන් සම්බන්ධ කර ගැනීමට 076-4020275 දුරකථන අංකයෙන් හැකිය.

දඹුල්ල - කේ.කේ. ආරියදාස

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon