මහ ලේකම් පුටුවේ වාඩි වූ පසු වැලැඳෙන පක්ෂ මාරු කිරීමේ රෝගය රෝහණට නොවැලඳේවා

  👤  3041 readers have read this article !
By mawbima 2018-08-10

පක්‍ෂයේ මහ ලේකම් පුටුවේ අසුන්ගත් පසු වෙනත් පක්‍ෂයකට විතැන් වීමේ රෝගය ශ්‍රී ල.නි.ප. මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාසට නොවැලඳේවා යැයි ප්‍රාර්ථනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා පවසයි.

ධර්මසිරි සේනානායක මහ ලේකම්වරයාගෙන් පසු ශ්‍රී ල.නි.ප. මහ ලේකම් පුටුවේ අසුන්ගත් සියලු ලේකම්වරුන්ට එම රෝගය වැලැඳුණු බවද මන්ත්‍රිවරයා කීවේය.
නමුත් වෙනත් පක්‍ෂයකට විතැන් වීමෙන් පසුව ඔවුන් යළිත් පක්‍ෂයට එක්වුණු බවද මන්ත්‍රිවරයා කීවේය.

නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (09දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

රෝහණ ලක්‍ෂ්මන් පියදාස මැතිතුමා කොමියුනිස්ට් පක්‍ෂයෙන් දේශපාලනය ආරම්භ කරලා ආපු බොහෝම හොඳ කෙනෙක්. ඒ නිසා එතුමා එහෙම වෙන එකක් නෑ කියලා අපි හිතනවා.

ඒ වගේම දුම්රිය වර්ජනය නිසි ආකාරයෙන් නතර කරන්න ආණ්ඩුවට බැරි වෙලා. මේ සේවකයන්ගේ ඉල්ලීම පඩි වැඩි කරන්න නොවෙයි, වැටුප් විසමතාව ඉවත් කරන්න කියන එකයි. එය සාධාරණ ඉල්ලීමක්. ඒ වගේම සමෘද්ධි නිලධාරීන් අද උද්ඝෝෂණයක නිරත වෙනවා පාර්ලිමේන්තුව අසල. ඒ අයගේ ඉල්ලීම් ටිකත් සාධාරණයි. ඒ අයගේ සාධාරණ ඉල්ලීම්වලට අපි සහාය දෙනවා.

ආබාධිත රණවිරුවන්ටත් අද විශාල ප්‍රශ්නයක් තියෙනවා. අද ආබාධිත රණවිරුවන්ගේ ගෙවල්වලින් ආදායම් බදු ගන්නවා. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේක නතර කරන්න කටයුතු කරන්න කියලා. එතුමා පසුගිය කාලයේම ආණ්ඩුවේ විවිධ වැරැදි තීන්දුවලට මැදිහත් වුණා. අගමැතිතුමා විශ්වාසභංගයේදී උදවු කරපු මන්ත්‍රිවරුන්ට අල්ලස් දෙන්න ඒ අයට ලක්‍ෂ 7ක විතර දීමනාවක් දෙන්න කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා. එය ජනාධිපතිතුමා ඉවත දැම්මා.

දැන් විපක්‍ෂ නායක තනතුරු ගැන වැරැදි මතයක් යනවා. අපි මේ හදන්නේ සම්පන්දන් එළවන්න නොවෙයි. ඒක ජාතිවාදී කෝණයකින් බලන්න එපා. අපට අවශ්‍ය කාලය, වරප්‍රසාද දෙනවා නම් සම්පන්දන් නෙවෙයි වෙන ඕන කෙනෙක් විපක්‍ෂ නායක වුණාට අපට කමක් නෑ. අපි මේ මන්ත්‍රිවරුන් 70 දෙනා සටන් කරන්නේ අපේ ඉල්ලීම් වෙනුවෙන්.

අද වෛද්‍යවරුන්ගේ ගැටලු තියෙනවා. ඒ අය කරන හැම එකකටම අපි එකඟ නෑ. ඒ අයට අසාධාරණයක් වෙනකොට අපි එතැන ඉන්න ඕන.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලටද ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා පිළිතුරු ලබා දුන්නේය.

මධ්‍යම කාරක සභාවේදී සද්ද නැතිව ඉඳලා ඇයි මාධ්‍යයේදී විතරක් කතා කරන්නේ?

නෑ. කිසිසේත් නෑ. අපි අරගල කරනවා. අපි දුමින්දටයි අමරවීරටයි ඕන විදියට පක්‍ෂය කරන්න අපි ඉඩ තියන්නේ නෑ. අපි මධ්‍යම කාරක සභාවේදී ලිපියක් භාර දුන්නා ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි කියලා.

විපක්‍ෂයේ නායක ධුරය ගැන මධ්‍යම කාරක සභාවේදී කතා කළාද?

ඔව්. අමරවීර ලිපියක් දුන්නලු සන්ධානේ මතය. සන්ධානෙ කොහෙද රැස්වුණේ. සන්ධානයේ පක්‍ෂ ඉන්නවා. ඒ අය එක්ක කතා කරලා නෙවෙයි අමරවීර මේ ලිපිය කථානායකට දුන්නේ. අනෙක කථානායකතුමාට කිසිම අයිතියක් නෑ ඒක සන්ධානයේ මහ ලේකම්ගෙන් අහන්න. අනෙක ආණ්ඩුව එක්ක ගිවිසුම තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එක්ක. සන්ධානයත් එක්ක කිසිම ගිවිසුමක් නෑ.

සන්ධානයේ විධායක සභාව රැස් වුණාද?

නෑ. රැස් වුණේ නෑ. ඒකෙ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමා ඉන්නවා. අමරවීර සන්ධානයේ විධායක සභාව රැස් කරන්නේ නෑ. ඒකයි මේ ප්‍රශ්නය. අමරවීර සිරිකොතේ රැස්වෙලා කථානායකට ලියුම් යවලා වැඩක් නෑ. එහෙම නැත්නම් මංගල එක්කයි මලික් එක්කයි කතා කරලා වැඩක් නෑ.

දුමින්ද දිසානායක එක්ක තවමත් තරහින්ද ඉන්නේ?

අනේ නැහැ.

රුචිර දිලාන් මධුශංඛ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon