තරගාවලිය 5-0කින් පරාජය නොවීමේ වුවමනාව පල්ලෙකැලේදී සපුරාගත්තා - තිසර පෙරේරා

  👤  2762 readers have read this article !
By mawbima 2018-08-10

විචිත්‍ර වීරසිංහ _මහනුවර පල්ලෙකැලේ
ක්‍රීඩාංගණයේ සිට...

දකුණු අප්‍රිකානුවන් හමුවේ පෙරේදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි එක්දින තරගයේදී ලකුණු 3ක තියුණු ජයක් ලැබූ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානුවන් හමුවේ නොකඩවා ලැබීමට තිබූ 12 වැනි පරාජය වළක්වා ගැනීමට සමත් විය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරගවලට සාපේක්‍ෂව තුන් ඉරියව්වෙන්ම දක්‍ෂතා අතරට පිවිස තිබූ අතර, මේ අතුරින් තිසර පෙරේරා හා පෙර තරග තුනටම අවස්ථාවක් හිමි නොවූ දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම චරිත දෙක බවට දිස් විය.

කෙසේ වෙතත් කලකට පසු ලැබූ මෙම ජයග්‍රහණයේ ගෞරවය ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ට හිමි විය යුතු බව තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී තිසර පෙරේරා සඳහන් කළේය.

"මේ තරගය ජයගෙන තරගාවලිය 5-0කින් පරාජය නොවෙන්න අපි සියලුම දෙනාට ඕන වුණා. ඇත්තටම පෙර තරගවලට වඩා අපේ පන්දු යැවීම, පිතිකරණය හා පන්දු රැකීම ඉතාමත් හොඳ තත්ත්වයක තිබුණා" පැවැසූ තිසර කීවේ තමන් ලැබූ මෙම සාර්ථකත්වයේ ගෞරවය චන්දික හතුරුසිංහ හා තිලාන් සමරවීර යන මහත්වරුන්ට හිමිවිය යුතු බවද පෙන්වා දුන්නේය.

"පිතිකරණය සම්බන්ධයෙන් මේ දෙන්නා ගොඩක් මට අවවාද ලබා දුන්නා වගේම රුමේෂ් රත්නායක සර් මගේ පන්දු යැවීමේ අඩුපාඩු කියා දුන්න නිසයි මගේ යම් දියුණුවක් පේන්න තියෙන්නේ. ඒ වගේම මනෝජ් අබේසිංහ අයිය නිසා අපේ පන්දු රැකීමත් විශාල දියුණුවක් ලබා තියෙන බව පේනවා. කොහොම වුණත් මම දසුන්ට කිව්වේ අපේ පහරවල්වලට යන එක නවත්වන්නේ නැතිව මුලින් අපි ලකුණු 250 ඉලක්කයට යමු කියලයි. දසුන් එයාගේ සුපුරුදු පහරවල්වලට ගිය නිසා මටත් පුළුවන් වුණා නිදහසේ මගේ පහරවල්වලට යන්න. ඒ වගේම දසුන් අතදිග ඇරලා ගහපු නිසා අපේ ඉලක්කය ලෙහෙසියෙන්ම සපුරාගන්නත් අපිට පුළුවන් වුණා"

ඉදිරියේදී කුමන කඩඉමක් සපුරා ගැනීමට අදහස් කරගෙන ඇත්දැයි නැඟූ ප්‍රශ්නයට පිළිතුරු සැපයූ තිසර පැවැසුවේ මෙවැන්නකි. "මම කඩුලු මෙතරම් ප්‍රමාණයක් ගන්නවා, ලකුණු මේ තරම් ප්‍රමාණයක් ගන්නවා කියලා කවදාවත් හිතලා නැහැ. මම කවදාවත් තනි ක්‍රිකට්වලට කැමැති නැහැ. මම යම් දෙයක් කරනවා ඒ කරන්නේ කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් විතරයි. කොහොම වුණත් මට ඕන ලෝක කුසලානයක් දිනාගැනීමේ අදහස විතරමයි" යනුවෙන්ද සඳහන් කළේය.

මේ අතර පෙරේදා පැවැති තරගයේදී තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වමින් තරගයේ වීරයා සම්මානය දිනූ දසුන් ශානක පැවැසුවේ පසුගිය අවුරුද්දක සිට පිතිකරණය හා පන්දු යැවීම පිළිබඳව තමන් මනා පුහුණුවක නිරත වූ බවය. "අවුරුද්දක පමණ කාලයක් එක්දින කණ්ඩායමේ හිටියේ නැති නිසා ඒ කාලයේදී මට පුළුවන් වුණා මගේ දුර්වලතා හදාගන්න. ඒ වගේම ශාරීරික යෝග්‍යතාව උපරිම යහපත් මට්ටමේ තබාගන්න මම මේ කාලයේදී වෙහෙසුණා" යැයි පැවැසූ දසුන් ශානකද කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ සේවය අගයමින් අදහස් දැක්වීය.

ඡායාරූපය _නුවන් අමරවංශ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon