‘ගම්පෙරළිය’ වෙනුවෙන් අධීක්ෂණ මන්ත්‍රිවරුන්ට තරුණ තරුණියන් 100ක්

  👤  2744 readers have read this article !
By mawbima 2018-08-10

රුචිර දිලාන් මධුශංඛ

'ගම්පෙරළිය' වැඩපිළිවෙළ ආසන මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා අධීක්ෂණ මන්ත්‍රිවරුන් යටතේ තරුණ තරුණියන් 100ක් යෙදවීමට රජය තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍ය ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ලේකම් ඇතුළු ත්‍රිපුද්ගල කමිටුවක් මඟින් 'ගම්පෙරළිය' වැඩසටහන අලළා සකස් කළ වාර්තාවකට අනුව රජය මෙම තීරණයට එළැඹ ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර පැවැති සාකච්ඡාවකින් පසුව ජූලි 23 වැනිදා මෙම පත් කිරීම් සිදු කිරීමට පියවර ගනු ලැබිණි.
වසර දෙකක කාලයක් ඇතුළත 'ගම්පෙරළිය' වැඩසටහන් ව්‍යාපෘති නිම කිරීමට අවශ්‍ය නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ඒ සඳහා යෙදවුවත් එම නිලධාරීන් සංඛ්‍යාව දෙගුණ කිරීමට සිදුවන බවද ඉහත සඳහන් ත්‍රිපුද්ගල කමිටුව වාර්තා කර තිබිණි.

එම නිසා තරුණ තරුණියෝ 100 දෙනකු ඒ සඳහා යොදවන බවත් එම බඳවා ගැනීම් අදාළ දිස්ත්‍රික්කය තුළින්ම බඳවා ගැනීමටත් නියමිත වන අතර ඔවුන් සඳහා කිසිදු දීමනාවක් ලබා නොදෙන බවත් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මේ අතර 'ගම්පෙරළිය' අධීක්ෂණ කටයුතුවල නිරත වන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අවශ්‍ය කාර්යාලපහසුකම් හා කාර්ය මණ්ඩලය ලබාදීමට රජය දැනටමත් තීරණය කර ඇති අතර බහුතර මන්ත්‍රිවරුන් පිරිසක් වාහන අවශ්‍ය නැති බැව් දැනුම්දී ඇතැයිද කිරිඇල්ල ඇමැතිවරයා කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ලෙස දැනටමත් ඔවුන් වාහන පාවිච්චි කරන බැවින් වැඩිදුර ගමන් සඳහා ඉන්ධන දීමනාවක් පමණක් ලබාදෙන ලෙස ඔවුන් දැනුම් දී ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon