විසඳුමක් දෙනකම් වර්ජනය කරනවා

  👤  2930 readers have read this article !
By mawbima 2018-08-10

උපතිස්ස පෙරේරා

රාජ්‍ය ආයතන, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට පෙර ඒ පිළිබඳව ආයතන බලධාරීන් දැනුවත් කිරීමේ සදාචාරාත්මක සම්ප්‍රදායට පිටුපා දසදහස් සංඛ්‍යාත මගී ජනතාව මෙන්ම අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන් අසීරුතාවකට පත් කරමින් ඇරැඹූ දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනය අත්හිටුවා පැමිණෙන්නේ නම් පමණක්ඔවුන් සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට රජය සූදානම් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අවධාරණය කරයි.

එමෙන්ම දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව ඊට අදාළ ගැසට් පත්‍රය ජනාධිපතිවරයා විසින් ඊයේ (09දා) නිකුත් කිරීමට පියවර ගත් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. පෙරේදා පස්වරුවේ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ෆැක්ස් පණිවුඩයක් මඟින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට දන්වා ඇතැයි වර්ජිත වෘත්තීය සමිති පැවැසුවද එවැනි ෆැක්ස් පණිවුඩයක් ලැබී නැති බවත් වෘත්තීය සමිති වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වන බවට ලද ආරංචියකට අනුව ඊට පෙර සාකච්ඡාවකට පැමිණෙන ලෙස එම වෘත්තීය සමිතිවලට කළ ඇරැයුම ඔවුන් ප්‍රතික්ෂේප කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අනුව ආරම්භ කර ඇති වැඩ වර්ජන හේතුවෙන් දුම්රිය ධාවනය මුළුමනින්ම ඇනහිට ඇති බවත් ප්‍රධාන මාර්ගයේ එක් දුම්රියක්ද, ගාල්ල දක්වා තවත් දුම්රියක්ද පෙරේදා සවස් භාගයේ ධාවනය කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය.

සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ, නියාමකවරුන්ගේ, හා දුම්රිය රියැදුරන්ගේ නිවාඩු අවලංගු කර විශ්‍රාමික රියැදුරන්ට සේවයට වාර්තා කරන ලෙස දන්වා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා වර්ජනයෙන් පීඩාවට පත් මගීන්ගේ ගමන් පහසුව සඳහා විකල්ප ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇති බවද සඳහන් කළේය.

මෙරට දෛනික මගී සංඛ්‍යාවෙන් ලක්ෂ 5ක් දුම්රිය මඟින්ද, ලක්ෂ 25ක් ශ්‍රී ලංගමය මඟින්ද, ලක්ෂ 75ක් පෞද්ගලික බස් රථ මඟින්ද ප්‍රවාහනය කරන බව කී අමාත්‍යවරයා පෞද්ගලික බස් සංගම් සතු බස් 21,000කින් දිනපතා සේවයට යොදාගනු ලබන්නේ බස් 17,000ක් පමණක් බැවින් එම බස් රථද වර්ජනය පවතින කාල සීමාව තුළ නොකඩවා ධාවනයට යොදවන ලෙස උපදෙස් දී ඇති බවද ප්‍රකාශ කළේය.

මාසික දුම්රිය ප්‍රවේශපත් හිමි මගීන්ට ශ්‍රී ලංගම බස් රථවලට අමතරව පෞද්ගලික බස් රථවලින් ප්‍රවාහන පහසුකම් ලබාදී ඒ සඳහා ඔවුන්ට ගෙවීම් කිරීමට කටයුතු යොදා ඇති බැවින් එම පහසුකම් ලබාගෙන තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගන්නා ලෙස අමාත්‍යවරයා මගී ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

රජය යටතේ ඇති ප්‍රවාහන ආයතන පහෙන් පාඩු ලබන එකම ආයතනය වූ දුම්රිය දෙපාර්තුමේන්තුවේ වාර්ෂික පාඩුව රුපියල් කෝටි 770ක්ව තිබියදී දුම්රිය සේවය නඟා සිටුවීමට රජය විශාල වැඩකොටසක් ඉටු කරන බවත් මසකට රුපියල් 1,50,000 _ 2,00,000 අතර වැටුපක් ගන්නා දුම්රිය රියැදුරන් මෙසේ ජනතාව පීඩාවට පත් කරන්නේ සීමිත පිරිසකගේ අවශ්‍යතා ඉටු කිරීමට බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon