සිසුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව පේරාදෙණියේ උද්ඝෝෂණයක්

  👤  3221 readers have read this article !
By mawbima 2018-08-16

මහනුවර - නදීක දයා බණ්ඩාර

ඉන්ජිනේරු පීඨයේ සිසුන්ගේ අධ්‍යාපනික ගැටලු නොවිසඳන පරිපාලනය ඒ වෙනුවට පීඨ නායක සිසුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමඟ කටයුතු කරමින් සිටින බව පවසමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුහු පෙරේදා (14දා) ගලහ හන්දිය අසල සිට උද්ඝෝෂණයක් කළහ.

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය වසා දැමීමට ක්‍රියාකළ බලධාරීන් මේ වන විටත් කිසිදු විසඳුමක් ලබාදී නොමැති බව විරෝධතාවට එක්වූ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මහිල් බණ්ඩාර දෙහිදෙණිය සිසුවා කීවේය.

පරිපාලනයට බාධා කළ බව කියමින් ඉන්ජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති හා ලේකම්වරයාට එරෙහිව පොලිසියේ පැමිණිලි කර ඇතැයි කී ඔහු මෙසේ ද කීවේය.
පරිපාලනය මේ වන විට උත්සාහ කරන්නේ සිසුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමට නොව සිසුන් මර්දනය කිරීමටයි. පොලිසිය විනය ආරක්ෂක ආදීන් සිසුන් පිළිබඳව සොයමින් සිටිනවා. නමුත් ඒ කිසිවකු සිසු ගැටලු සඳහා විසඳුම් ලබාදෙන්නේ නැහැ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක්, අනුරාධපුර රෝහලේ වෛද්‍යවරයකුට පහරදීම සම්බන්ධයෙන් අදහස් පළ කළ ඔහු එම පහරදීම අනුමත කළ නොහැකි බවත් ඔවුන්ට එරෙහිව පරිපාලනය ගන්නා තීරණ අනුමත කරන බවත් කීවේය.

විශ්වවිද්‍යාලය වසා දැමූ නමුත් සිසුන් නිවෙස් කරා නොගොස් රැකියාවල නිරතවීමට කටයුතු කරන්නේ ආර්ථික අගහිඟකම් නිසා යැයිද මහිල් බණ්ඩාර දෙහිදෙණිය සිසුවා කීවේය.

මහනුවර - කොළඹ මහා මාර්ගයේ එක් කොටසක් අවහිර වන ලෙස පැයකට ආසන්න කාලයක් කළ විරෝධතාව සඳහා සිසුහු දහසකට ආසන්න ප්‍රමාණයක් සහභාගිව සිටියහ. 

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon