අනුරාධපුර මහ නගර සභාවේ රුපියල් කෝටි තුනකට ආසන්න මූල්‍ය වංචා සිද්ධිය වැටුප් විෂය නිලධාරිනියගේ සහෝදරයකු සහ නගර සභාවේ සේවිකාවක ලබන 24 තෙක් රිමාන්ඩ් ලක්‍ෂ 20ක් විෂය භාර නිලධාරිනියගේ සහෝදරයකුගේ ගිණුමකටත් තවත් ලක්‍ෂ 19ක් නගර සභාවේ සේවිකාවකගේ ගිණුමකටත් බැර කරලා

  👤  3165 readers have read this article !
By mawbima 2018-08-16

අනුරාධපුර - ආනන්ද කරුණාදාස, මහේෂ් විජේසූරිය

අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්‍ෂ අනූහතර දහස් අසූ දෙකක (3,879,4082) මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තවත් සැකකාරියක සහ සැකකරුවකු මේ මස 24 වැනි දින දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හේමන්ත

පුෂ්ප කුමාර මහතා ඊයේ (15දා) නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් කළේ මෙම මහ පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මීට පෙර රහස් පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් විෂය භාර නිලධාරිනියගේ සහෝදරයකු වන පෞද්ගලික ආයතනයක සේවය කරන අනුරාධපුර තිසාවැව අසංක ප්‍රසාද් අමරසිංහ සහ අනුරාධපුර මහ නගර සභාවේ සේවිකාවක වන අනුරාධපුර අභයගිරි පාර කුට්ටම්පොකුණ පදිංචි උඩවත්තේගෙදර ලෝකානන්ද පද්මිණි යන දෙදෙනාය.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ රහස් පොලිසිය මඟහරිමින් සැඟව සිටින ප්‍රධාන සැකකාර වැටුප් විෂය භාර නිලධාරිනියගේ සැමියා වන අනුරාධපුර මහ නගර සභාවේ ආදායම් පාලක සම්පත් අනුරාධ කුමාරසිංහ නමැත්තාට විදේශ ගත වීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම තහනම් නියෝගය නොපමාව ආගමන - විගමන පාලකවරයාට යවන ලෙස අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට තවදුරටත් නියෝග කළේය. සැඟව සිටින ආදායම් පාලකවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද රහස් පොලිසියට නියෝග කරනු ලැබීය.

සැකකාරිය සහ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය සඳහන් කළේ අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන මේ මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් කර සිටින එම මහ නගර සභාවේ වැටුප් විෂය භාර නිලධාරිනිය විසින් නගර සභාවට අයත් රුපියල් විසි ලක්‍ෂ හැත්තෑ හතර දහස් තුන්සිය දෙකක (2,074,302) මුදලක් ඇගේ සහෝදරයකු වන අසංක ප්‍රසාද් අමරසිංහ නමින් ඇති බැංකු ගිණුමකට බැර කර ඇති බවයි.

තවත් රුපියල් දහනව ලක්‍ෂ විසිපන් දහස් තුන්සිය පහක (1,925,305) මුදලක් අනුරාධපුර මහ නගර සභාවේ සේවිකාවක වන උඩවත්තේගෙදර ලෝකානන්ද පද්මිණි යන අයගේ ගිණුමකට වැටුප් විෂය භාර නිලධාරිනිය විසින් බැර කර ඇති බවද රහස් පොලිසිය අධිකරණයට සැල කළේය. මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශනයක් සිදු කරමින් පවතින බවද කියා සිටි රහස් පොලිසිය එසේ හෙයින් මෙම සැකකරු සහ සැකකාරිය රිමාන්ඩ් කරන ලෙසද අධිකරණයෙන් අයැද සිටියේය. රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි මොහාන් සිරිවර්ධන මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂක බස්නායක මහතා සැකකාරිය සහ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වීය.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මීට පෙර රිමාන්ඩ් කර ඇත්තේ අනුරාධපුර තිසාවැව පදිංචිකාරියක වන ශාලිකා එරන්දි අමරසිංහ නමැති 36 හැවිරිදි කාන්තාවකි. මෙම සැකකාරිය අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් විෂය භාර නිලධාරිනිය ලෙස සේවය කරමින් සිටියදී රුපියල් කෝටි 24කට අධික මුදලක් ඇය විසින් පරිහරණය කර ඇති බවත් ඒ අතරතුර මෙම මූල්‍ය වංචාව සිදු කර ඇති බවත් රහස් පොලිසිය දැනට කර ඇති මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ බවට සැක කෙරෙන දැනට රිමාන්ඩ් කර සිටින සැකකාරියගේ සැමියා බව කියන අනුරාධපුර මහ නගර සභාවේ ආදායම් පාලකවරයකු ඇතුළු තවත් සැකකරුවන් හය දෙනකුගේ සේවය අනුරාධපුර නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතා විසින් මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇත. අනුරාධපුර මහ නගර සභාවේ සේවය කළ ප්‍රධාන ලිපිකරුවන් සිවු දෙනකුගෙන්ද මෙම මූල්‍ය වංචාව පිළිබඳව රහස් පොලිසිය ප්‍රශ්න කිරීමට නියමිතය. මෙම වංචාව සිදුව ඇති බව කියනුයේ 2013 වසරේ සිට 2018 වසර දක්වාය. වංචා කර ඇති මුදල රුපියල් තුන්කෝටි අසූ හත් ලක්‍ෂයක් බවට රහස් පොලිසිය කළ මූලික විමර්ශනවලදී දැනට හෙළි කර ගෙන තිබුණද වංචා කර ඇති එම මුදල රුපියල් කෝටි හතකට ආසන්න බවට රහස් පොලිස් විමර්ශන කණ්ඩායම් සැක පළ කරයි.

රහස් පොලිසියේ වාණිජ අපරාධ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරයි. උතුරු මැද පළාත් පාලන කොමසාරිස් කේ.ඒ. සංජීවනී මහේෂිකා මහත්මිය සහ අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතා රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව විමර්ශන ඇරැඹිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon