මේ රට 2015දී වැටුණේ 1815දී වැටුණු වළටමයි

  👤  3218 readers have read this article !
By mawbima 2018-08-17

1815දී වැටුණු වළටමයි අපි 2015දී වැටුණේ. 1815දී අපිව රැවැට්ටුවේ අධිරාජ්‍යවාදීන්. 2015දී අපිව රැවැට්ටුවේ නව යටත්විජිත වාදයේ ඒජන්තයන්'' යැයි නිදහස් කලා සන්ධානයේ සභාපති සුදත් රෝහණ පැවැසුවේය.

'බදු දඩයමට එරෙහි කලාකරුවෝ, සීරුවෙන් සිටින්!' මැයෙන් පෙරේදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී නිදහස් කලා සන්ධානය පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ සුදත් රෝහණ මහතා,
''දැන් මේ රට පාලනය කරන කළු සුද්දෝ අපිට බදු පිට බදු ගහනවා. 2017 බදු පනතෙන් කලාකරුවන්ට තියෙන සියලු සහන නැති කළා විතරක් නෙවෙයි අපිට අලුතෙන් බදු ගැහුවා. නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමාව, සාහිත්‍ය, සංගීතය සියලු දේට බදු පනවලා තියෙනවා. එකම නිර්මාණයක් බදු අවස්ථා කිහිපයකට යටත් වෙනවා. මේක ඉතා භයානක කාරණාවක්. අද වෙනකොට නිෂ්පාදකවරු ටෙලි නාට්‍යවලට මුදල් ආයෝජනය කරන්නේ නැහැ. මේ බදු පැනවීම සියලු දෙනාටම පිළිලයක් බවට පත් වෙලා තියෙනවා.

සමාජයේ සියලු දෙනාම බදු ගෙවද්දී අපි බදු ගෙවන්නේ නැහැ කියලා අපි කියන්නේ නැහැ. අපේ බොහෝ අය දැනටමත් බදු ගෙවනවා. අපි කියන්නේ මේ බදු ගෙවීම තුළ නම්‍යශීලී ප්‍රතිපත්තියක් තිබිය යුතුයි කියලා. මේ තත්ත්වය තුළ ටෙලි නාට්‍යවල වැඩ කරන ටී බෝයිලාටත් බදු ගෙවන්න වෙනවා. ලංකාවේ කලාකරුවන්ට එක දිගට වැඩ ලැබෙන්නේ නැහැ. නමුත් මේ බදු ක්‍රමයෙන් මාසික බද්දක් අය කරනවා.

මේ බදු ක්‍රමය නිසා අපිට කලාකරුවන්ව එකම වේදිකාවකට ගෙන්වන්න පුළුවන් වුණා. ඒ වේදිකාව තුළ අපිට ''බදු දඩයමට එරෙහි කලාකරුවෝ සීරුවෙන් සිටින්!'' කියලා සංවිධාන ගත වෙන්න හැකියාව ලැබුණා.

අපි ජනාධිපති ප්‍රමුඛ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා මේ බදු දඩයම නවත්වන්න කියලා. ඊට පස්සේ මේ බදු ඉවත් කළා කියලා ප්‍රචාරය යැව්වා. කොහොම නමුත් අපිට දැනගන්න ලැබුණා ජනාධිපතිවරයා මේ බදු ඉවත් කරන්න කියලා තිබුණා. දැන් අපිට තේරෙන්නේ නැහැ ජනාධිපතිතුමා රඟපාලා අපිව ප්‍රේක්‍ෂකයෝ කරනවද? නැත්නම් ඔහු කියන දේ නිලධාරීන් අහන්නේ නැද්ද කියලා අපිට සැකයි.

ආණ්ඩුවට දැන් එක්තරා විදියකට මේ නිදහස් කලා සන්ධානය හිසරදයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අපි කලාකරුවොත් එක්ක කතා කරනකොට අපිට දැනෙන දෙයක් තමයි තවමත් කලාකරුවෝ ආණ්ඩුව කියන දේවල්වලට රැවටිලා ඉන්නේ.

රාජ්‍ය මාධ්‍යවලට අපි කියන්න කැමැතියි ඔබ ඔය පෙට්ටි කඩයක් කියන නිදහස් කලා සන්ධානය තමයි මේ වෙනකොට ලංකාවේ වැඩිම කලාකරුවෝ පිරිසක් නියෝජනය කරන ප්‍රබලම සංවිධානය. ඒ නිසා කොතරම් දරුණු මර්දන ආණ්ඩුව ක්‍රියාත්මක කළත් වාද භේදවලින් තොරව අපි එකට එක්වෙලා කටයුතු කරනවා. කලාකරුවන් කොතරම් තමන්ගේ අයිතිවාසිකම් අහිමි වුණත් නිහඬයි. ඒක ලොකු ඛේදවාචකයක්. මෙතරම් බලයක් තියෙන කලාකරුවන් නිහඬ විය යුතු නැහැ කියලා අපි කියනවා.''

නිදහස් කලා සන්ධානයේ ලේකම් ඩග්ලස් සිරිවර්ධන,
''වත්මන් ආණ්ඩුව කලාකරුවන්ට බදු පැනවීම අපිට දැනුණා, රිදුණා. අපි ඒ වෙනුවෙන් අද සටන් කරනවා.
නමුත් අපිට මේකේදී දේශපාලන ඉලක්කයක් හෝ ආණ්ඩුව පෙරළීමේ ඉලක්ක නැහැ.

ඒ වගේම තමයි අපි මේ දේවල් කරන්නේ නැවත රාජපක්‍ෂලාව ගේන්න කියලා කියනවා. අපිට ඔවුන් ගේන්න අවශ්‍ය නැහැ. ඒ වගේම දැන් රාජ්‍ය පුවත්පත් මාධ්‍යවලත් හෙඩ්ලයින් දාන්න තරම් නිදහස් කලා සන්ධානය ප්‍රබල වෙලා ඉදිරියට ඇවිල්ලා තියෙනවා.''

හිටපු දේශීය ආදායම් කොමසාරිස් ආර්.පී.එල්. වීරසිංහ,
"අපේ ජීවිතවල ප්‍රධානම කාරණා දෙකක් ස්ථිර වශයෙන්ම සිද්ධ වෙනවා. ඒ තමයි මරණය සහ මැරෙනකම් බදු ගෙවීම.
බදු ප්‍රතිපත්තියක් ගෙන ඒම වරදක් නැහැ. නමුත් ප්‍රශ්නය තමයි මේ ගැන සාකච්ඡා කළ යුතු පාර්ශ්ව සමඟ සාකච්ඡා නොකර කටයුතු කිරීම.

මේ බදු පනත ලංකාවට ආනයනය කරපු බද්දක්. මෙතෙක් කලාකරුවන්ට ලබාදී තිබූ සියලු සහන මෙයින් ඉවත් කරලා තියෙනවා.''

ආර්ථික විශ්ලේෂක ආචාර්ය නාලක ගොඩහේවා,
''කලාකරුවන්ගේ කාර්ය තමයි සමාජයක් එක්ක සිටිමින් සමාජ ප්‍රගමනයට දායකත්වය ලබාදීම. නමුත් දැන් කලාකරුවන් ජීවත් වෙන්නේ දැඩි පීඩනයකින්. මේ බදු බර ඔවුන්ට දරා ගන්න බැහැ. වර්තමානයේ කලාකරුවෝ බොහෝ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙනවා. ත්‍රස්තවාදයට අවුරුදු තිහක් තිස්සේ කර ගන්න බැරි වුණු දේවල් තමයි වර්තමාන ආණ්ඩුවට දැන් මේ කරමින් ඉන්නේ.''

උදයන්ති මුණසිංහ
ඡායාරූප - සස්සඳ ලියනආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon