ෂැන්ග්‍රිලා ගිහින් කාලා ඇවිත් ඉඩම දුන්නා කියලා අපට බනිනවා

  👤  3277 readers have read this article !
By mawbima 2018-08-17

ෂැන්ග්‍රිලා හෝටල් සමාගමට අපි ඒ කාලේ ඉඩමක් දුන්නා හෝටලය ඉදි කරන්න. අද මේ අය ඒ හෝටලයට ගිහින් කාලා පාටි දාලා ඇවිත් කියනවා ඒ හෝටලය අපි ඉඩම් වික්කා කියලා. මේ හෝටලයට පිටුපස්සේ තිබුණු අක්කර 6කුත් අපි දුන්න ගාණටත් අඩුවෙන් විකුණලා තමයි මේ ආණ්ඩුව මෙහෙම කියන්නේ' යැයි මාවනැල්ලේ පෞද්ගලික වාහන අලුත්වැඩියාවන් මෙන්ම යාන්ත්‍රික කටයුතු කරන වෙළෙඳ ව්‍යාපාරයක් විවෘත කිරීමේ අවස්ථාවේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගියදා කීය.

රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය. අද මේ රටේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියන එක ලේසි නැහැ. රටක් දියුණු කරන්න නම් ඒ රටේ දේශීය ව්‍යාපාරිකයා දියුණු කරන්න ඕනෑ. අද දේශීයට ව්‍යාපාරිකයාට ව්‍යාපාර කරන්න අපහසු තත්ත්වයක් ඇති වෙලා තිබෙන අතර පිටරට අයෝජකයන්ටත් ලංකාවේ ව්‍යාපාර කරගෙන යන්න බැරි තත්ත්වයක් උදා වෙලා.

ඒ වාගේම පිටරට ආයෝජකයන් මේ රට දියුණු වෙන්න මේ රටට එන්න ඕනෑ. ඒ වාගේම දේශීය ආයෝජකයන් ගොඩනැඟෙන්න ඕනෑ. දේශීය ආයෝජකයන් ගොඩනැඟුණේ නැත්නම් අපේ රටේ ආර්ථිකය ගොඩනඟන්න අපහසුයි. ඒ නිසා රටක පාලක පන්තියේ වගකීමක් තමයි මේ ආයෝජකයන් දියුණු කරලා රටේ ආර්ථිකය දියුණු කිරීම. ඒ සඳහා බැංකුවකින් ණයක් ගත්තොත් ඒ ණය ගත්ත ව්‍යාපාරිකයා යම් අවස්ථාවක කඩා වැටුණොත් බැංකුව එම ව්‍යාපාරය පවරා ගන්නවා මිස ඔවුන්ට අත හිත දීලා දියුණු කිරීමේ අදහසක් නැහැ.'

එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවැසීය.

පාර්ලිමේන්තුවේ ස්වාධීනව ඉන්න කණ්ඩායමක් සකස් කිරීම නීත්‍යනුකූලව පහසුද?

ඉතිහාසයේම මේ රටේ දේශපාල පක්ෂ ඕනෑ තරම් අලුතෙන් හැදිලා තිබෙනවා. ආණ්ඩු පක්ෂයෙන් කඩා ගෙන ගිහින් වෙනම පක්ෂයක් හැදිලා තියෙනවා. යූ.ඇන්.පී. එකෙන් කැඩිලා ශ්‍රී ලනිප හැදුණා. ඉතින් ඒක ක්‍රමය, ස්වභාවය. මේකෙනුත් එහෙම පක්ෂයක් හැදිලා ඊට පස්සේ පක්ෂයක් හැදෙයි. පක්ෂයක් හැදිලා තිබෙනවා පොහොට්ටුව කියලා. අපි තීන්දුවක් ගත්තේ නැහැ. අපි මණ්ඩලයක් පත් කළා. මණ්ඩලය යම් තීන්දුවක් දෙයි.

පසුගිය දවස්වල අභයාරාමයේ වෘත්තීය සමිති හමුවක් තිබුණා. ඒ හමුවේදී යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා නේද?

කොහේද ගැටලු නැත්තේ? ඒක පෞද්ගලික ප්‍රශ්නයක්නේ. එතුමා කීවේ එතුමා හිරේ යැව්වා කියලා. පෞද්ගලික ප්‍රශ්න මිස ඒවා වෘත්තීය ප්‍රශ්න නෙවෙයි.
චන්ද්‍රිකා මහත්මිය මාධ්‍යවේදීන්ට තර්ජනය කරනවා.

ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?

ඒකෙන් පේන්නේ ආණ්ඩුවේ මාධ්‍යවේදීන්ට තිබෙන නිදහස.

දුම්රිය වර්ජනයක් තිබුණා. දැන් බස් වැඩවර්ජනයක් පටන් ගත්තා. ඒ ගැන මොකද කියන්නේ?

ප්‍රශ්නවලට විසඳුම් නැත්නම් ඒ මිනිස්සු වැඩවර්ජනවලට යනවා. ප්‍රශ්නයක් තිබෙනවා නම් ප්‍රශ්නය සාකච්ඡා කරලා විසඳන්න ඕනෑ. එහෙම නැති වුණොත් ප්‍රශ්න ඇති වෙනවා.

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon