වනයේ අසිරි සිරිය අතුරුගිරියට ගෙන ආ මුව රංචුවට උණ්ඩයේ සරණ විතරමද? වනජීවියේ පිහිටක් නැද්ද?

  👤  3365 readers have read this article !
By mawbima 2018-08-19

අතුරුගිරිය යනු කොළඹට ආසන්නවම පිහිටි ජනාකීර්ණ නරගයකි. පසුගිය දිනෙක දුර බැහැරක පදිංචි අයකු එහි යන්නේ ඔහුගේ මිතුරකු මුණගැසීමටය. මිතුරාගේ නිවෙස පිහිටා ඇත්තේ අතුරුගිරිය නගර මධ්‍යයෙන් හැරී කිලෝමීටරයක් පමණ දුරක් ගිය තැනය.

වේලාව රාත්‍රි නවයට ආසන්නය. රාත්‍රිය වුවද හොඳින් හඳ පායා තිබූ බැවින් අඳුරක් නොවීය. නගරයෙන් රස කැවිලි පාර්සලයක්ද රැගත් ඔහු සිය යතුරුපැදිය පැදවූයේ තරමක වේගයකිනි. තාප්පයක් අවසන්වීමත් සමඟම තිබූ වංගුවක් පසු කරද්දී එක්වරම මඟ හරහා පනින ලද ගෝනකුගේ මෙන් අං තට්ටුවක් දැරූ සතකුගේ ඇඟේ වැදුණු ඔහු විසිවී ගොස් බිම ඇද වැටිණි. යතුරුපැදිය පාර මැදය. සිද්ධියෙන් අන්දුන්කුන්දුන් වූ ඔහු දුටුවේ තමන් දෙස මොහොතක් වික්‍ෂිප්තව බලා සිට පාර මාරුවූ ගෝනකු තරම්ම විශාල සිරුරකින් යුත් බෙදී ගිය අං තට්ටුවක්ද සහිත මුවෙකි. ඒ සමඟම ඔහුටත් යතුරුපැදියටත් අතරින් තවත් පනහක් හැටක් තරම් සංඛ්‍යාවක විශාල මුව රංචුවක් පාර මාරුවිය. තමන් මේ ගමන් කරන්නේ කොළඹට තදාසන්න ප්‍රදේශයක මාර්ගයකද නැතිනම් විල්පත්තුව හෝ යාල වන මැද පිහිටි පාරකදැයි තහවුරු කර ගැනීමට හෙතෙම වැටී සිටි තැනම සිට නැවත වටපිට බැලීය. මුහුණ සහ අත්පා තුවාලවී තිබූ ඔහුගේ ගමන කෙළවර වූයේ ජාතික රෝහලෙනි.

යතුරුපැදියට සිදුව තිබූ හානිය සඳහා රක්‍ෂණ වන්දිය ලබා ගැනීමට හෙතෙම ඇත්තම කීවේය. නමුත් අතුරුගිරියේදී මුව රංචුවකට මැදිව අනතුරකට ලක්වූ බව පිළිගැනීමට රක්‍ෂණ සමාගම සූදානම් වූයේ නැත. අවසානයේදී එම සමාගමේ නියෝජිතයෙක් ප්‍රදේශයට ගියේ තොරතුරු සනාථ කර ගැනීමටය.

කොළඹට ආසන්නව පිහිටි අතුරුගිරිය නගරය අවට හොඳින් වැඩුණු දෙසීය පනහක පමණ තිත් මුව රංචුවක් ගැවසෙන බව පැවැසුවොත් ඇතැම් විට ඔබද එය විශ්වාස කිරීමට මැළිකමක් දක්වනු නිසැකය.

කොළඹට ආසන්නව සිටින මෙම තිත් මුව රංචුව මේ වන විට තෙත් කලාපයේ සිටින විශාලම මුව ගහනය බව අප සමඟ පැවැසුවේ පරිසරවේදී නයනක රන්වැල්ල මහතාය.

උන් පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බැලීමේ අටියෙන් අප එහි ගොස් තිබුණේ අතුරුගිරිය, මොරටුහේනේ ගොවි සමිතියේ හිටපු උප සභාපති විජිත විජේසිරි සහ වත්මන් උප සභාපති නිහාල් රංජිත් යන මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේය.

අතුරුගිරිය පොලිසිය අසලින් හැරී කිලෝමීටරයක පමණ දුරක් ගමන් කළ අපි මොරටුහේන නමින් හැඳින්වෙන ප්‍රදේශයේදී රථයෙන් බැස මඳක් වට පිටාව විපරම් කළෙමු. පර්චස් දහය, විස්ස බැගින්වූ ඉඩම් කැබැලිවල තැනූ නිවෙස්ද අක්කරය, දෙක පමණ විශාල වූ ගෙවතුද දක්නට ලැබිණි.

පැරැණි ගමක් වුවත් අලුතින් ඉදිවූ දෙමහල් නිවෙස්ද එමටය. අඹ, කජු ආදී පලතුරු සහ එරමිනියා පඳුරුවලින් යුක්ත අක්කරයක පමණ ඉඩමක විශාල අං තට්ටුවක්ද සහිත පිරිමි සතකු ඇතුළු හතළිහක පමණ මුව රංචුවක් දැක බලා ගැනීමට එතරම් වේලාවක් බලා සිටීමට සිදුවූයේ නැත. අවට ප්‍රදේශයේ මුවන් දෙසීය පනහක් පමණ සිටියද වැඩුණු ශක්තිමත් පිරිමි සතුන්ගේ නායකත්වය යටතේ උන් රංචු කිහිපයකට බෙදී සිටින බව විජිත් විජේසිරි මහතා අප සමඟ පැවැසීය. හය දෙනකුගෙන් යුත් අප කණ්ඩායම කැමරා අටවා ගනිමින් ළංවෙන විට උන් මඟහැර යන්නට තැත් කරන බවක් දිස්විය. ඡායාරූප ශිල්පියා ඔහුගේ රාජකාරිය කිරීම සඳහා උන් පසුපස පැන්නූ බැවින් බියට පත්වූ මුවෝ වෙනත් ඉසව්වලට පලා ගියහ.

ගමේ තැන් තැන්වල අක්කර දෙක තුන බැගින්වූ විශාල ගෙවතු, පාළුවට ගිය ඉඩම් සහ රබර් වගාවන්ද තිබේ. දිවා කාලයේදී තුරු ගොමු සහිත සෙවණක ලැග සිටින මුව රංචු සවස සහ රාත්‍රි කාලයේදී ආහාර සොයමින් ගම පුරා ඇවිදිති. ගම්මුන් විසින් වගා කර ඇති එළවළු, පලා වර්ග සහ ඇතැම් පලතුරු ගස්වල දලු, රිකිලිද ආහාරයට ගන්නා මුවන් ඇන්තූරියම් මල් පවා කෑමට පුරුදුවී සිටී. කලකට ඉහතදී තමන්ට අවශ්‍ය එළවළු තමන්ම වගාකරගත් ප්‍රදේශවාසීන්ට දැන් ඒවා වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට සිදුව තිබේ.

කිසිවකු කිසිදු වගාවකට යොමු නොවන්නේ ඒ සියල්ල මුවන්ගේ ආහාරය බවට පත්වන බැවිනි. රාත්‍රි කාලයේදී නිවෙස් වටා ඇවිදින මුවෝ ඉවත දැමූ බත්, ඉඳුල් මෙන්ම මල්පෝච්චිවල සිටුවා ඇති බටු, මිරිස් ආදී පැළ වර්ග පවා කා දමති.

එනමුත් ගම්වාසීහු එම සතුන්ට කිසිදු හිරිහැරයක් නොකරනවා පමණක් නොව මොනයම් හෝ ආහාරයක් ලබාදෙමින් කරුණාව දයාව දැක්වීමටද හුරු පුරුදුව සිටිති. උන් කෙතරම් ආහාර හිඟයකට මුහුණදී ඇත්දැයි කිවහොත් රබර් වතුවල වැටී ඇති රබර් ඇට පවා ආහාරයට ගනී.

නාගරික ප්‍රදේශයක් වූ අතුරුගිරියේ මුවන් සිටිය නොහැකිය. නමුත් දැන් දෙසීය පනහක පමණ මුව රංචුවක් එහි සිටින අතර එය එසේ වූයේ කෙසේදැයි දැන ගැනීමට නම් මොරටුහේන ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරාධිපති වෑතර සිරිනන්ද හිමියන්ව හමුවන ලෙස ගම්මු අපට කීහ. සිරිනන්ද හිමියන් අප සමඟ කතා බහට එක් වූයේ මේ අයුරිනි.

මීට අවුරුදු තිස් පහකට, හතළිහකට විතර ඉස්සෙල්ලා උතුරු පළාතේ එරාවුර් කියන ප්‍රදේශයේ මහත්තයෙක් අපේ හිටපු ලොකු හාමුදුරුවන්ට පොඩි මුව පැටවු ජෝඩුවක් ගෙනැවිත් දුන්නා ඇති කරන්න.

ගැහැනු පැටවා මැරුණා. පිරිමි සතා හොඳට හැදිලා ලොකු මහත් වුණා. පස්සේ කාලෙකදී උෟ සැර වෙච්ච නිසා මගේ ගුරු හාමුදුරුවෝ උෟව පනාගොඩ හමුදා කඳවුරට භාර දුන්නා. කඳවුරේ ගෑනු සතුන් දෙදෙනෙක් හිටියා. උන්ගෙන් හැදුණු පැටව් ටික දෙනෙක් ලොකු මහත් වුණාට පස්සේ කෑම්ප් එකෙන් පැනලා මේ ගමට ආවා. ඒ ආපු සත්තු බෝවෙලා තමයි දැන් දෙසීය පනහක විතර රංචුවක් ඉන්නේ.

ලසන්ත චන්දිම මහතාගේ අක්කර හතරක් පමණ වූ ගෙවත්තද එක් මුව රංචුවක් විසින් දිවා කාලයේදී ගිමන් හැරීමට තෝරාගෙන ඇති ස්ථානයකි. චන්දිම මහතා කියා සිටින්නේ දිගින් දිගටම ගහනය වැඩි වීමත් ලොකු ඉඩම් කැබැලි කර වෙන්දේසි කිරීමත් නිසා මෙම සතුන් උග්‍ර ආහාර හිඟයකට මුහුණ දෙමින් සිටින බවයි. ප්‍රදේශවාසීන්ගෙන් මුවන්ට කරදරයක් සිදු නොවූවත් රාත්‍රි කාලයට සුඛෝපභෝගී වෑන් රථවලින් පැමිණෙන කණ්ඩායම් කිහිපයක් සතුන්ට වෙඩි තබා උන්ව මස් පිණිස රැගෙන යෑමට පුරුදුව සිටින බවක්ද කියැවේ. එමෙන්ම දඩයමට හුරුවී සිටින බල්ලන්ද රංචු ගැසී කුඩා මුව පැටවුන්ව ගොදුරු බවට පත්කර ගනී.

සතුන් ගැවසුණු විශාල ඉඩම් කැබලි කර වෙන්දේසි කරන්නේ මුවන්ගේ ඡායාරූප යොදා ගනිමින් වටපිටාව සුන්දර පරිසරයක් බව පෙන්වා දෙමිනි. මුවන්ගේ රුව යොදා ගනිමින් උන්ගේ පරිසරය උන්ට අහිමි කිරීම කොතරම් අභාග්‍යයක්ද? මෙම මුව රංචු ආරක්‍ෂා කර ගැනීමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවද ඇතුළු වගකිව යුතු ආයතනවලට ඉදිරිපත් වන ලෙස අමුතුවෙන් ඉල්ලීම් කළ යුතු නොවේ.

සපුමල් ජයසේන
ඡායාරූප: සස්සඳ ලියනආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon