මහජන බැංකුවේ අධ්‍යක්ෂගේ සමාගමට දුන් කෝටි 10ක ණය තෑග්ගක්

  👤  3220 readers have read this article !
By mawbima 2018-08-19

ප්‍රගීත් සම්පත් කරුණාතිලක

මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයකු වන ජෙහාන් අමරතුංග විධායක උප සභාපති ධුරය දරන එම්.ටී.ඩී. වෝකර්ස් සමාගමට රුපියල් බිලියන 10ක, රුපියල් කෝටි 1000ක, ණය මුදලක් ලබාදීමට මහජන බැංකුව කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් ඇතිව තිබේ.

මේ ණය මුදල ලබාදීම සම්බන්ධව ගැටලු රැසක් මතු වෙයි. මේ ණය මුදල ලබා ගැනීමේදී බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි අයකු ණය මුදලක් ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙතක් තිබේ. විනිවිදභාවය සහ හෙළිදරව් කිරීම යන කාරණා දෙක මුල්කරගෙන අනුගමනය කළයුතු පිළිවෙතක් තිබේ. ඒ පිළිවෙත ජෙහාන් අමරතුංග එම්.ටී.ඩී. වෝකර්ස් ආයතනයට රුපියල් බිලියන 10ක ණය මුදල ලබාදීමේදී අනුගමනය කළ බවක් පෙනෙන්නට නැත. ණය මුදලක් ලබාදීමේදී අනුගමනය කරන නීති හා රෙගුලාසි ලෙසද මෙය හැඳින්විය හැකිය.

මහ බැංකුව මඟින් කළ නිර්දේශ මහජන බැංකුවේ පිළිගත් යහපාලන නීතිරීති මෙන්ම ජාත්‍යන්තර බැංකු රෙගුලාසි යටතේද ණයක් දීමේදී නීතිරීති අඩංගු වෙයි.

බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින අයකු යම් ණයක් අයදුම් කළේ නම් එම ණය මුදල අනුමත කරන වේලාවට අධ්‍යක්ෂ මණ්ඩලයේ වාඩිවීමට නොහැකිය. යම් අනුමැතියකට ඡන්දයක් දීමට බැරිය. මතයක් ප්‍රකාශ කිරීමට බැරිය. අඩුම තරමේ කිසිම බලපෑමක් කිරීමට බැරිය.

මේසා විශාල ණය මුදලක් ලබා දීමේදී ණය දෙන ආයතනය ගැන විශේෂ පෙරහුරුවක් කළ යුතුය. මීට එම ආයතනයේ විධායක උප සභාපති ධුරය දරන ජෙහාන් අමරතුංග සහභාගි කරවා නොගත යුතුය. මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් මෙම පෙරහුරුව කළ යුතුව තිබිණි. එසේම දෙනු ලබන ණය මුදල හෝ පහසුකම් කිසිදු බලපෑමකට යටත්ව දෙන එකක් බව, එම ණය මුදල හා පහසුකම වාණිජ්‍යමය වශයෙන් සාමාන්‍ය ගනුදෙනුවක් තුළට වැටෙන බව, එම ගනුදෙනුවට අදාළව කෙරෙන සුරැකුම්පත් හා වෙනත් සුරැකුම් ලියකියවිලි අංගසම්පූර්ණ මෙන්ම ප්‍රමාණවත් බව, සාමාන්‍ය ගනුදෙනුවකදී මෙන් සියලු අවශ්‍යතා සපුරා දිය යුතු බව සඳහන් වෙයි.

එහිදී එම කාරණා යටතේ මේ ණය මුදල ලබා දුන්නේ නම් එම්.ටී.ඩී. වෝකර්ස් ආයතනයට කිසිදු විශේෂතාවක් ලබාදිය නොහැකිය. නමුත් පෙනෙන විදියට මහජන බැංකුව එම ණය මුදල ලබාදීමේදී ඉහත කී කිසිදු රෙගුලාසියක් අනුගමනය කර නැති බවක් පෙනෙයි. සිවිල් සමාජයට මෙම කාරණා අනාවරණය වී සිවිල් සමාජය එය විමසීමට පෙර මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට එය හෙළි කිරීමට තිබිණි. එය බලපෑමක් නැතිව ස්වේච්ඡාවෙන් කළ යුතු වගවීමක් ලෙසද හැඳින්විය හැකිය.

එහෙත් එම කාරණයද ඉටුවූයේ නැත. සමීප පාර්ශ්වයක් සමඟ කෙරෙන ගනුදෙනුවකදී ඒ ගනුදෙනුව කළ බවට සහ එම ගනුදෙනුව හෙළිදරව් කිරීමේ ස්වේච්ඡාවක් තිබිය යුතු බවට ණය දීමේදී කොන්දේසියක්ද තිබේ. එවැනි සමීප ගනුදෙනුවක් කිරීමේදී බලපාන නීතිරීති කිහිපයක්ද තිබේ. ඒ ගනුදෙනුව ණය දෙන ආයතනයේ ප්‍රාග්ධන යෙදවුම් ප්‍රමාණයෙන් සියයට 5 හෝ 10ක් ඉක්මවන්නේ නැති වේලාවකදී එලෙස හෙළි කළයුතු වන්නේ නැත.

එවිට ඒ සඳහා පොදු වගන්තියක් තිබේ. මේ ගනුදෙනුවේදී ඊට අදාළ ගිණුම් වාර්තා නිකුත් කිරීමේදී සමීප පාර්ශ්වයන් හා සම්බන්ධ පාර්ශ්වයක් හා ගනුදෙනු කිරීමේදී ඒ අවශ්‍ය සියලු කොන්දේසි සපුරා ඇත කියා වගන්තියක් ලියයි. එසේම එහිදී මෙසේද සඳහන් කරයි. "අපි මේ ගනුදෙනුවේදී අතේ දුරට ක්‍රියාකර ඇත කියාය. මේ වාක්‍ය දෙකම යහපාලනය සඳහා වූ ගිණුම්කරණය සහ බැංකුª රෙගුලාසි ක්‍රියා සම්බන්ධයෙන් යහපත් ක්‍රියා දෙකකට අදාළ වගන්ති දෙකකි.

මේ වගන්ති දෙකේ පිළිසරණ ගෙන මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය කියන්නේ මේ ගනුදෙනුවේදී අපි අතේ දුරට කර ඇති බවයි. ඒ වගන්ති දෙක මේ ණය මුදලට පමණක් පොදු නැත. සමීප සබඳතා සහිත පාර්ශ්වයන් සමඟ ගනුදෙනු කරයි නම් එසේ කිරීමේදී අපි මෙසේ කර ඇතැයි කියා මෙම වගන්ති යොදයි.

වෝකර්ස් සමාගම ලබාගත් ණය මුදලේ ප්‍රමාණය සහ ඔහු කාලයක් තිස්සේ මහජන බැංකුවේ දරන තනතුරු හා එම තානාන්තරය අනුව ඔහු වෙනුවෙන් රැකවරණයක් ගැනීම මහජන බැංකුවෙන් අපේක්ෂා කළ නොහැකිය.

මන්දයත් මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන්නේ එම්.ටී.ඩී. වෝකර්ස් සමාගම 2004 වසරේ පමණ සිට මහජන බැංකුවේ ගනුදෙනුකාර සමාගමක් ලෙස කටයුතු කරන බවයි. දීර්ඝ කාලයක් තිස්සේ මහජන බැංකුව සමඟ විශ්වසනීය ගනුදෙනුකරුවකු ලෙස කටයුතු කර ඇති බවයි. විටින් විට මහජන බැංකුව වෙතින් මෙම ආයතනය මූල්‍ය පහසුකම් ලබාගෙන ඇති අතර නිසි පරිදි හා ක්‍රමානුකූලව ඊට අදාළ ආපසු ගෙවීමද සිදුකර ඇත කියාය.

එම්.ටී.ඩී. වෝකර්ස් ආයතනය ලබාගත් ණය වෙනුවෙන් වාරික නිසි පරිදි ගෙවා නොමැති බව අප සතුව තොරතුරු තිබේ. මේ ණය මුදල ප්‍රශ්නය කතාබහට ලක්වීමත් සමඟ හිඟ වාරික කඩිමුඩියේ ගෙවා දැම්මේ ජූලි 30 වැනිදායි.

එසේම මහජන බැංකුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ජෙහාන් අමරතුංග එම්.ටී.ඩී. වෝකර්ස් සමාගමේ අධ්‍යක්ෂවරයකු වශයෙන් පත්වන්නේ 2002 වසරේදී බවය. නමුත් මහජන බැංකුවේ සහ එම්.ටී.ඩී. වෝකර්ස් සමාගම අතර ව්‍යාපාර සම්බන්ධතාව ඊට පෙර වසරේ සිට පැවැත එන්නක් බවද එම මාධ්‍ය නිවේදනයේ සඳහන්ය.

මේ ආකාරයට මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය අප ඉහත පෙන්වා දුන් වගන්තිය අනුව ක්‍රියාකළේ දැයි විමසිය යුතුය. මහජන බැංකුව යනු රාජ්‍ය ආයතනයකි. එම නිසා එහි වගකීම සාමාන්‍ය බැංකු ක්‍රමයක නීතිරීතිවල යටත්වීමට වඩා හුඟක් වෙනස් වෙයි. මහජන බැංකුවට මහජන වගකීමක් තිබේ. බැංකුවේ ප්‍රාග්ධනය අපේය. මේ රටේ සෑම පුරවැසියෙක්ම බැංකුවේ කොටස්කරුවෙකි. මේ කොටස්කරුවන්ට රටේ සම්පත් නිවැරැදි හා නිසි අයුරින් පරිහරණය කළාද, කළමනාකරණය කළාද කියා දැන ගැනීමේ අයිතියක් ඇත. ඒ දේ දැනගත හැකිවන්නේ මහජන ආයතනයක් විදියට බැංකුව එය හෙළි කළොත් පමණි. නමුත් මේ අය එම කාර්යය හරියට කරනවා දැයි සැක සහිතය.

වාණිජමය වශයෙන් සලකා බලන නිර්ණායකයන්ට යටත්ව දෙනු ලබන ණයකදී එහි සීමාවක් නැත. රුපියල් කෝටි 50 - 100 වුවත් ණය ලබාදිය හැකිය. එහිදී ඊට අවශ්‍ය සුරැකුම් ඇත්නම්, ණය මුදල අත්පත් කර ගැනීමේ ආවරණයක් ඇත්නම් එම ණය මුදල අනුමත කළ හැකිය. එසේම ප්‍රාග්ධනයෙන් සියයට 10 ඉක්මවන ණයක් නම් ඊට නම යොදා අදාළ කටයුතු කළ යුතුය. මේ ක්‍රම යටතේ එම්.ටී.ඩී. වෝකර්ස් ආයතනයට ලබාදුන් ණය වෙනුවෙන් රැකවරණය ගැනීමට මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ක්‍රියාකරමින් සිටියි.

මෙවැනි ණය ගනුදෙනුවලදී බැංකු අංශයේ පවතින පරිපාලනමය රෙගුලාසි සාමාන්‍ය මූල්‍ය අංශයේ රෙගුලාසිවලට වඩා ප්‍රබලය. එසේම මෙවැනි ණය ගනුදෙනුවකදී රෙගුලාසි අනුගමනය කිරීම සහ විනිවිදභාවය පෙනෙන ආකාරයට විනයක් සහිතව ආයතනය කටයුතු කළ යුතුය. එය කළ යුත්තේ හෙළිදරව් කිරීම මඟිනි.

තත්ත්වය එසේ තිබියදී මහජන බැංකුවේ සභාපතිවරයා ලිපියක් ලියමින් කියා සිටින්නේ සමාගමක අධ්‍යක්ෂවරුන්ට එහිදී වගකීමක් නැතැයි කියාය. යම් සමාගමක අධ්‍යක්ෂවරු එම සමාගමට වගකියන්නේ නැත්නම් ඊට වගකියන්නේ කවුද කියා ප්‍රශ්නයක් පැනනඟී. සමාගමකට අධ්‍යක්ෂ මණ්ඩලයක් නැතිව පැවැත්මක් නැත. මහජන බැංකු සභාපතිවරයා මෙම ප්‍රශ්නයෙන් ගැලවීමට උත්සාහ කරන්නේදැයි දැන් ප්‍රශ්නයක් මතුව තිබේ.

එම්.ටී.ඩී. වෝකර්ස් සමාගමට මේසා විශාල ණය මුදලක් ලබාදීමට මහජන බැංකුව ක්‍රියාකිරීම පිටුපස සෘජුවම ජෙහාන් අමරතුංග සිටින බවට පැහැදිලි වී තිබේ. මේ කාර්යයේදී තමන් විධායක උපසභාපති ධුරය දරන සමාගමට පහසුකමක් ලබා ගැනීමේදී මැදිහත් නොවී දුරස්ව සිටියා යැයි සිතිය නොහැකිය. යම් අධ්‍යක්ෂවරයෙක් ණය මුදලක් ඉල්ලීමේදී අධ්‍යක්ෂ මණ්ඩලය අතේ දුරින් සිට කටයුතු කළ යුතු බව කියා සඳහන් කරන්නේ එහි විශ්වසනීයත්වය රැක ගැනීමටය. එහෙත් ජෙහාන් අමරතුංග මහජන බැංකුවෙන් එම්.ටී.ඩී. වෝකර්ස් සමාගමට දිගින් දිගටම පහසුකම් ගනිමින් සිටියදී ණය දීමේ ක්‍රියා කටයුතුවල සිටින නිලධාරීන් සමඟ සබඳතාවක් හෝ ගැටුමක් හෝ විමසීමකට භාජන නොවී කටයුතු කළා යැයි කියා අපට කිව නොහැකිය.

මන්දයත් ජෙහාන් අමරතුංග මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයකු පමණක් නොවේ. ඔහු දෙවිදියකින් මේ කාරණාවට සම්බන්ධ වෙයි. මන්දයත් ජෙහාන් අමරතුංග මහජන බැංකුවේ විගණන කමිටුවේ සභාපතිවරයාය. එම කමිටුවට තිදෙනකු ඇතුළත්ය. මේ විගණන කමිටුව සුවිශේෂී ණය පහසුකම්වලදී අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් එම ණය ක්‍රියා පටිපාටිය හරියට සිදු වී තිබේදැයි කියා විමසා විමර්ශනය කිරීමට බැඳී සිටියි. එය ඔවුන්ගේ කාර්යයකි.

ජෙහාන් අමරතුංගට විටින් විට අවස්ථා ගණනාවකදී ලබාදුන් පහසුකම්වලදී ඒ විමර්ශනය මොහු වෙනුවෙන් කළේ කවුද යන්නයි. ජෙහාන් අමරතුංග සභාපතිත්වය දරන කමිටුවක් බැංකුවේ තිබියදී ණය ගනුදෙනු කෙසේ වී දැයි සෙවිය යුතුය. ජෙහාන් අමරතුංග 2010 සිට එම කමිටුවේ සභාපතිය. එසේ නම් මෙම ගනුදෙනුවල විනිවිදභාවයක් තිබුණේ දැයි කියා බරපතළ ගැටලුවක් පැන නඟී. මෙවැනි ණය ගනුදෙනුවලදී මොහුගේ කාර්යභාරය වෙනුවෙන් පෙනී සිටියේ කවුද කියා අදටත් පැහැදිලි නැත. එසේම ජෙහාන් අමරතුංග ධ්ඊ කමිටුවේ සභාපති ධුරයද දරයි.

එසේම එම්.ටී.ඩී. වෝකර්ස් සමාගමේ විධායක උප සභාපතිය.ඊට ඇතුලත් කර විධායක මට්ටමේ නිලයක් හොබවන ජෙහාන් අමරතුංග එම සමාගමේ සියලු ගනුදෙනු ඉල්ලීම් තැන්පත් කිරීම්, ගනුදෙනු කිරීම් ගිවිසුම් ගතවීම් ගැන ක්‍රියාකරන ප්‍රධාන නිලධාරියාය.

මේ බව මහජන බැංකු වාර්තාවේ ජෙහාන් අමරතුංග කවුද කියා හඳුන්වාදෙන තීරුවේ මොහුගේ ඡායාරූපයද යොදා මොහුගේ තොරතුරු දමා තිබේ. එසේනම් ජෙහාන් අමරතුංග මේ තනතුරු දෙකම සමාන්තරව දරමින් සිටියදී ඔහුගේ මැදිහත් වීමකින් බැහැරව මේ ගනුදෙනු සිදු විය නොහැකිය.

එසේම එම්.ටී.ඩී. වෝකර්ස් සමාගම ණය අරගෙන ඇත්තේ මහජන බැංකුවෙන් පමණක් නොවේ. කොටස් වෙළෙඳපොළ මාධ්‍ය වෙබ් අඩවියේ තොරතුරු මත වෝකර්ස් සමාගමේ සියලුම ගිණුම් වාර්තා ලබාගත හැකිය. මෙම ගිණුම් වාර්තා වසරක් පාසා ඊට ඇතුලත් කර ඇත. එම ගිණුම් වාර්තාවලට අනුව එම්.ටී.ඩී. වෝකර්ස් සමාගම ණය පහසුකම් ගන්න බැංකුවල නම් එහි තිබේ. ඒ සෑම බැංකුවකින්ම වෝකර්ස් සමාගම ණය අරගෙන ඇත. එසේ නම් මහජන බැංකුව රුපියල් බිලියන 10ක ගනුදෙනු කිරීමේදී එම බැංකුව තුළ මේවා ගැන සමීක්ෂණය වූවාදැයි විමසිය යුතුය. එසේ වූයේ නම් මේවා ගැන තොරතුරු වාර්තා නොවීම බරපතළ ප්‍රශ්නයකි.

එම්.ටී.ඩී. වෝකර්ස් සමාගම බිලියන 3ක ණයකර නිකුතුවක් කර තිබේ. එලෙස ණයවර නිකුතුවක් කිරීමේදී බිලියන 500ක් මහජන බැංකුව ණය බර ලෙස මිලදී ගෙන තිබේ. මහජන බැංකුව වැනි ප්‍රධාන පෙළේ රාජ්‍ය මූල්‍ය ආයතනයක් මෙවැනි සමාගමක මුදල් ආයෝජනය කිරීම සැකයට භාජන වෙයි. එම්.ටී.ඩී. සමාගම මෙරටේ සෑම වාණිජ බැංකු ගනනාවකින්ම ණය අරගෙන තිබියදී එවැනි සමාගමකින් මිලියන 500ක ණයවර නිකුතුවක් ගැනීම ප්‍රශ්න සහගතය. බැංකුවක් තමන්ගේ අරමුදල් ආයෝජනය කිරීමේදී සැම තැනම ආයෝජනය කරන්නේ නැත. එලෙස ආයෝජනය කරනවා නම් සේවක අර්ථසාධක අරමුදල නැත්නම් රාජ්‍ය බැඳුම්කරවල, මහ බැංකු බිල්වල ආයෝජනය කළ යුතුය. නමුත් මේ ආකාරයට වෝකර්ස් සමාගමෙන් ගත් ණයවර නිකුතුව මහජන බැංකුව විසින් ගත්තේ ස්වේච්ඡාවෙන් ගත් බැංකු තීරණයක් නිසා දැයි රටට කිව යුතුය. එසේ නම් එම තීරණය ගත්තේ කවුද කියා කිව යුතුය.

එම්.ටී.ඩී. වෝකර්ස් සමාගම ගත් රුපියල් බිලියන 3ක මුදල මේ සැප්තැම්බර් මාසයේදී කල් ඉකුත් වෙයි. එවිට මේ සමාගම සැප්තැම්බර් මාසයේදී ණය ගන්න ආයතනවලට මුදල් ගෙවිය යුතු වෙයි.

නමුත් අද වන විට සමාගමේ තත්ත්වය බොහොම නරක අතට හැරී තිබේ. සමාගම අද වන විට බිලියන 2.8ක් පාඩුවට දුවයි. වෝකර්ස් සමාගම බැංකු ගණනාවකින්ම ණය ලබාගෙන ඇත. ඒවාට ඇපකර ලෙස තබා ඇත්තේ ආයතනයේ යන්ත්‍ර සූත්‍රය. සමහර විටෙක එකම යන්ත්‍ර සූත්‍ර සෑම බැංකුවකටම තබා ණය ගත්තේ දැයි අපි නොදනිමු. එසේ නොමැති නම් රුපියල් බිලියන 10ක් ආවරණය වන යන්ත්‍ර සූත්‍ර වෝකර්ස් සමාගම සතුව තිබේ දැයි අපි නොදනිමු.

මේ යන විදියට මේවා ගැන සොයා බලන්නේ කවුද යන්න ගැටලුවකි. මේ සමාගමට ණය දීමට පෙර මහජන බැංකුවේ විශේෂ විගණන පරීක්ෂාවකට මේ ණය මුදල ලබාදීම භාජන වුණාදැයි සොයා බැලිය යුතුය. මන්ද මේ ගනුදෙනුව සිදුවී ඇත්තේ සම්බන්ධකම් ඇති පාර්ශ්වයක් සමඟ නිසාය.

ගිණුම්කරණ නියාමන යටතේ හෝ මහ බැංකු රෙගුලාසි යටතේ හෝ ඊට පිටින් මේ ණය ගනුදෙනුව සිදුවූයේ නම් එම නියාමන හා රෙගුලාසි ආරක්ෂා වීද යන්න සොයා ගත යුතුය. එහෙත් බැලූ බැල්මට එවැනි දෙයක් පෙනෙන්ට නැත.

මීට පෙරද මහජන බැංකුව එම්.ටී.ඩී. වෝකර්ස් සමාගමට සංසරණය වන ණය පහසුකම් යටතේ රුපියල් බිලියන 4.4ක ණය මුදලක් දී ඇත. එම ණය සීමාවට සුරැකුම් ලෙස මහජන බැංකුව අරගෙන ඇත්තේ රුපියල් මිලියන 600ක ආරක්ෂණ තැන්පතුවක් පමණකි. එනම් රුපියල් මිලියන 4000ක වටිනාකමකට පහසුකමකට ආරක්ෂණ තැන්පතුවක් ලෙස බැංකුව අරගෙන ඇත්තේ රුපියල් මිලියන 600ක් පමණි.

එම්.ටී.ඩී. වෝකර්ස් සමාගමට ආයතන 6ක් පමණ තිබේ. මේ හයම පාලනය වන්නේ ජෙහාන් අමරතුංග යටතේය. මහජන බැංකුව ලබාදුන් රුපියල් බිලියන 4.4 පහසුකම වෙනුවෙන් වෝකර්ස් සමාගම ඇපයක් විදියට තියා ඇත්තේ සක්‍රිය සීමාව යටතේ යන්ත්‍ර සූත්‍ර වාහන ඇපකරයක් හා ලංකා රුපියල් මිලියන 535ක ස්ථාවර තැන්පතුවකි. මේවායින් රුපියල් බිලියන එකක්වත් ආවරණය නොවේ. මේ ආකාරයට වෝකර්ස් සමාගමට ණය දීමේදී මහජන බැංකුව ක්‍රියාපටිපාටියෙන් බැහැරව ඇත. එසේ නම් මේ ගනුදෙනුවලට ජෙහාන් අමරතුංගගේ මැදිහත්වීමක්, බලපෑමක් තිබුණේ නැතැයි කීව නොහැකිය.

වෝකර්ස් සමාගම වරින්වර මහජන බැංකුවෙන් ගත් පහසුකම් දෙස බැලීමේදී මිලියන 25, මිලියන 50, මිලියන 150, මිලියන 10, මිලියන 22, මිලියන 80, මිලියන 82, මිලියන 250 ආදී වශයෙන් වරින්වර පහසුකම් ලබාගෙන ඇත. වෝකර්ස් සමාගම ඒවාට ලබාදී ඇති. සුරැකුම් වන්නේ යන්ත්‍ර සූත්‍රය, මේවා එකම යන්ත්‍ර සූත්‍රද කියා අප දන්නේ නැත.

එසේම වෝකර්ස් සමාගම තවත් කාලයකදී බිලියන එකක බැංකු සුරැකුම් ඉල්ලා ඇත. මීට අමතරව සෙලාන් බැංකුව, නේෂන් ට්‍රස්ට්, හැටන් නැෂනල් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, මහජන බැංකුව, කාගිල්ස් බැංකුව ආදී සියල්ලගෙන්ම ණය ලබාගෙන ඇත.

මේ බැංකු බලපෑමකින් තොරව සමාගම් ආඥාපනත යටතේ ණය දුන්නා විය හැකිය. එසේ තිබියදී, මහජන බැංකුව වෙතින්ම රුපියල් බිලියන 10ක පහසුකමක් ලබාගැනීමට තෝරා ගැනීමද ප්‍රශ්නකාරීය. සමහර විටෙක මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින නිසා ජෙහාන් අමරතුංග මහජන බැංකුව තෝරා ගත්තා දැයි දන්නේ නැත. කෙසේ හෝ ජෙහාන් අමරතුංග බිලියන 10ක ණය මුදලක් වෝකර්ස් සමාගම වෙත ලබා ගැනීමට මැදිහත් නොවූයේ යැයි කාට නම් කිවහැකිද?.

මේසා විශාල ණය මුදලක් ලබාගත් එම්.ටී.ඩී. වෝකර්ස් ලබාගත් දීමට පෙර මේ ආයතනය ගැන සොයා බැලීමට මහජන බැංකුව නිසි පරිදි ක්‍රියා කළා දැයි යන්න ගැටලුවකි
2015 දෙසැම්බර් 31 වන විට එම්.ටී.ඩී. වෝකර්ස් සමාගමේ කොටස්වලින් හතර වැනි කොටස්කාරයා වන්නේ මහජන බැංකුවයි. එහිදී මහජන බැංකුවද ද්විත්ව වරදක් කර තිබේ. ඒ මහජන බැංකුව තමන්ගේම කොටස් ඇති ආයතනයකට ණය දීමයි. අනෙක් කාරණාව නම් ජෙහාන් අමරතුංග එම්.ටී.ඩී. වෝකර්ස් සමාගමේ කොටස් මහජන බැංකුවට විකිණීමයි. ඒ ආකාරයට 4,40,658ක කොටස් මිලට ගෙන තිබේ. එහි වටිනාකම රුපියල් මිලියන 22.56කි.
මේ සා දෙයක් කර ඇති ජෙහාන් අමරතුංග ආරක්ෂා කිරීමට මහජන බැංකු සභාපතිවරයා දරන උත්සාහය පුදුම සහගතය.

විල්සන් සුබසිංහ යනු මහජන බැංකුවේ පළමු සභාපතිවරයාය. එතුමා සභාපති වැටුප ගත්තේ නැත. මහජන බැංකුවේ අවිනිශ්චිත ගිණුමක සුබසිංහ මහතාගේ වැටුප තැන්පත් කර තිබේ. මහජන බැංකුව ස්ථාපිත කළේ ගමේ සමුපකාර ව්‍යාපාරය දියුණු කිරීමටය. එහෙත් එම කාර්ය මහජන බැංකුව අද ඉටු කරනවාදැයි කිව නොහැකිය. මහජන බැංකුව ඉටු කළ යුත්තේ ජනතා අපේක්ෂාවය. බැංකුව අතින් ඉටුනොවන්නේද එම කාර්ය බව ජෙහාන් අමරතුංග වැනි චරිත හරහා පෙනී යයි.

වෝකර්ස් සමාගමට රුපියල් බිලියන එකක ණය මුදලක් ලබා දුන්නේ 2018 මාර්තු මාසයේදීය. මේ ණය මුදල සමාගමක් විදියට ආපසු නොගෙවන ණයක් බවට පත්වූයේ ජූලි 29 වැනිදාය. ඒ වන විට වෝකර්ස් සමාගමට දුන් රුපියල් බිලියන 10ක ණය ගැන වාර්තා වීමත් සමඟ ජූලි 30 වැනිදා වන විට වෝකර්ස් සමාගම හිමි වාරික සියල්ල දමා පෙන්විය. ඒ කාරණාව ගෙන මහජන බැංකුවේ සභාපතිවරයා පැවැසුවේ වෝකර්ස් සමාගමේ ගිණුම් නියම තත්ත්වයේ පවතිනවා කියාය.

මහජන බැංකුව හරහා මේ ගනුදෙනු කළත් ඔහු විධායක උප සභාපති ධුරය දරන එම්.ටී.ඩී. වෝකර්ස් සමාගම කොටස් වෙළෙඳපොළ තුළ අවදානම් සමාගමක් ලෙසද මේ වන විට නම් කර ඇත. ජෙහාන් අමරතුංගට පසුගිය රජය කාලයේදීද බරපතළ චෝදනා එල්ල වී තිබිණි. එසේ තිබියදී ඔහු නැවත මේ ආණ්ඩුව යටතේද අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වී ඇත. අගෝස්තු 31 වැනිදායින් පසු මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිල කාලය අවසන් වෙයි. එසේ තිබියදී මේ අය තමන්ගේ කාලයේ වැරැදි වසා ගැනීමට සිය හිතවත් ඒජන්ත කෙනකුගේ කාලය මාස 6කට දිගු කර ඇතැයිද වාර්තා වෙයි.

එසේනම් මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ජෙහාන් අමරතුංග පත් නොවේවි යැයි කිව නොහැකිය. මන්දයත් ඒ තරමටම මේ තුළ ක්‍රියාත්මක මාෆියාව බලවත් වීම ඊට හේතුවයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon