ලෝකයේ මීතොටමුල්ල බවට ලංකාව පත්කරන්නයි ආණ්ඩුව හදන්නේ

  👤  3436 readers have read this article !
By mawbima 2018-08-20

වත්මන් ආණ්ඩුව සිංගප්පූරුව සමඟ ඇති කරගෙන තිබෙන්නේ ලෝකයේම කසළ කළමනාකරණය කරමින් ලෝකයේ මීතොටමුල්ල බවට ශ්‍රී ලංකාව පත්කර ගන්නා ගිවිසුමක් බව ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය.

සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ ගැසට් නිවේදනයේ මෙරටට ආනයනය කළ හැකි අපද්‍රව්‍ය 60කට ආසන්න ප්‍රමාණයක් සඳහන් වන බවත් මෙතෙක් පැවැති කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයට මෙම ගිවිසුම හරහා සේවා අංශ, බුද්ධිමය දේපළ ඇතුළු පුළුල් ක්‍ෂේත්‍රයකට ඇතුළු වීමේ ඉඩ ප්‍රස්තාව ලබාදී ඇති බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය. ඊයේ (19දා) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේපැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේද කීය.

''පසුගිය සති කිහිපය තුළදී ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළව සඟවාගෙන සිටි හොර ගැසට් නිවේදනය එළියට පැමිණීමත් සමඟ ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන්, රාජ්‍ය මාධ්‍ය, රාජ්‍ය මාධ්‍ය වෙනුවෙන් පෙනී සිටින සියලු පාර්ශ්වයන් භූමිතෙල් ගෑවුණු ගැර¾ඩි පිරිසක් මෙන් ඉතාමත් කලබලයට පත්වෙලා විවිධ අපහාස උපහාස මඩ ප්‍රචාර සිදුකරන්න පටන් ගෙන තිබෙනවා. මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. උපනූපන් පරම්පරාවලට බලපාන රටවල් දෙකක් අතර හොර රහසේ අස්සන් කළ ගිවිසුමක් ක්‍රියාත්මක කරන විට ඒ පිළිබඳව රට ඇතුළේ ප්‍රබුද්ධ සංවාදයක් ඇති වෙනවා.

මේ සිංගප්පූරු ගිවිසුමේ බරපතළම කරුණක් තමයි කසළ කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නය. මේ ගිවිසුමේ හංගලා තිබෙන ගැසට් නිවේදනයේ කුණු වර්ග රාශියක් අංක සහිතව සඳහන් වෙනවා. ලෝහ බොර සහ අනෙකුත් අපද්‍රව්‍ය, ඊයම් අඩංගු ගැසොලින්, ආසනික් හෝ එකී ලෝහ නිෂ්කාශනය කරනු පිණිස ගනු ලබන ආසනික් තාලියම් අඩංගු ද්‍රව්‍ය, නාගරික කසළ පිලිස්සීමෙන් ලබාගන්නා අළු සහ කොටස් ඇතුළු කසළ මේ අතර වෙනවා.

විවිධ තැන්වල හංගපු මේ ගැසට් නිවේදනයේ අපද්‍රව්‍ය ගැන සඳහන් වෙලා තිබෙනවා. මීට පෙර කිසිම ගිවිසුමක ලංකාවට ගෙන්විය හැකි බවට කීවත් එය මධ්‍යම පරිසර අධිකාරියට හෝ වෙනත් අයට නැවැත්විය හැකි ආකාරයට නීතියේ ඉඩකඩක් තිබෙනවා. මොකද ලංකා ඉතිහාසයේ මෙතෙක් කල් අස්සන් කළ ඕනෑම ගිවිසුමක් අස්සන් කරලා තිබෙන්නේ භාණ්ඩ වර්ගවලට පමණයි. මෙම ගිවිසුමේ සේවා අංශයේ තිබෙනවා ඛ්ර්ථීඛ් 9401, 9402, 9404 යන කසළ කානු සේවාවන් පිළිබඳව. අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන්, පිරිසුදු කිරීමේ සේවාවන් යනාදියට නිදහසේ ඇතුළු වීමට ඉඩ තිබෙන බව තමයි මේ සේවාවල්. කසළ ආනයනය කිරීමෙන් පසුව විවිධ සේවා තිබෙනවා.

කසළ වර්ගීකරණය, කසළ ගබඩාකරණය, ඇසුරුම්කරණය, යනාදී සේවාවන් සඳහා සිංගප්පූරුවේ සමාගම්වලට නිදහසේ ලංකාවට එන්න පුළුවන්. අනෙක් බරපතළ කරුණ තමයි 1025 කියන වගන්තියේ ආයෝජනය කරන්න යම් යම් සීමාවන් තිබෙන අංශ 07ක් තිබෙනවා. ඒ කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, වන සම්පත්, පතල් හා කැණීම්, ඉඩම් කඩම් විකිණීම්, ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය, සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත නිෂ්පාදන කියන සේවා අංශ. නමුත් කසළ කළමනාකරණය පිළිබඳ කෙරෙන ආයෝජන ගැන කිසිම සීමාවක් සඳහන් වන්නේ නැහැ. එම නිසා 1980 මැයි 09 වැනිදා සිංගප්පූරුව සමඟ අස්සන් කර තිබෙන සිංගප්පූරු ආයෝජන ආරක්‍ෂණ ගිවිසුමේ වගන්ති වෙනස් කරමින් තමයි මේ අලුත් ගිවිසුම අස්සන් කර තිබෙන්නේ.

මීට පෙර කවර කලෙක, කවර ආණ්ඩුවක් යටතේ ද්විපාර්ශ්වික කුමන ගිවිසුමක් අස්සන් කරලා තිබුණත් ඒ කිසිම ගිවිසුමක අපද්‍රව්‍ය ආනයනය කිරීම තිබුණත් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සේවා සැපයීම්, ආයෝජනය කිරීම් යනාදිය ගැන නිදහසක් දීලා නැති බව ඉතා වගකීමෙන් මම ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් ප්‍රකාශ කරන්න කැමැතියි.

කසළ ගෙන්වන විට මධ්‍යම පරිසර අධිකාරියට පුළුවන් කසළ ආනයනය කිරීමට ඉඩ නොදීමට. උපනූපන් පරම්පරාවලට පවා මේ විකිරණශීලී අපද්‍රව්‍ය බලපාන්න පුළුවන්. එම නිසා සමහර අපද්‍රව්‍ය ලංකාවට ගේන විට අපේ අපද්‍රව්‍ය එහෙට ගෙනියන්න පුළුවන් කියන්නේ සිංගප්පූරුවේ නීති පද්ධතිය ගැන අබමල් රේණුවක්වත් දන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. මගේ දැනීමේ හැටියට මේ ගැසට් නිවේදනයේ සඳහන් අපද්‍රව්‍ය 60කට ආසන්න ප්‍රමාණයක් මේ රටට ගෙන එන්නයි ලැහැස්ති වෙන්නේ.

ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon