ආසියානු ක්‍රීඩා උළෙලේදී තවත් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිනන්න ගිය අකලංක උසස් පෙළත් ලියයි

  👤  3354 readers have read this article !
By mawbima 2018-08-20

විචිත්‍ර වීරසිංහ

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායම නියෝජනය කරන අකලංක පීරිස්ට මෙම ක්‍රීඩා උළෙල හේතුවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබුණද, ශ්‍රී ලංකා බලධාරීන්ගේ දැඩි උත්සාහය හේතුවෙන් ඔහුට ඉන්දුනීසියාවේදීම උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාවද උදාවී ඇත.

ඒ අනුව ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් පෙනී සිටිනවාද, එසේත් නැතහොත් අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටිනවාද යන ගැටලුව අකලංකට මතුවී තිබුණද ජාතික ඔලිම්පික් කමිටුව, අධ්‍යාපන අමාත්‍යාංශය හා ක්‍රීඩා ඇමැතිවරයාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් ඉන්දුනීසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී සපුරා ගැනීමට හැකියාව ලැබී තිබේ.

තානාපති කාර්යාලයට අපි යන විටත් අකලංක විභාගයට මුහුණ දීම සඳහා පැමිණ සිටි අතර, ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයකුට පළමු වරට හිමිවූ මෙම ගෞරවනීය අවස්ථාව පිළිබඳව අකලංක "මව්බිම"ට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසුවේ මේ පිළිබඳව ජාතික ඔලිම්පික් කමිටුවට, අධ්‍යාපන අමාත්‍යාංශයට විශේෂ ස්තුතියක් පිරිනැමිය යුතු බවය.
"මගේ අම්මටයි, තාත්තටයි ලොකු ඕනෑකමක් තිබුණා මං උසස් පෙළ විභාගය කරනවා දකින්න. ඒ අය මේ බව ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාට කීවාම ඒ මහතා මංජුල කාරියවසම් මහත්මයට කතා කරලා මේ අවස්ථාව මට ලබාදුන්නා. මගේ පුහුණුකරු ෂෙහාන් ඩයස් මහත්තයත් මේ සඳහා මහන්සි වුණා" යැයිද අකංලක සඳහන් කළේය.

කෙසේ වෙතත් පසුගියදා (18දා) අකලංක සාමාන්‍ය පොදු පරීක්‍ෂණ පත්‍රයට පෙනී සිටි අතර, ඔහු අද (20දා) මෙහි වේලාවෙන් පෙරවරු 9.29ට පමණ මීටර් 50 පසුපස ආර පිහිනුම් තරගයට මුහුණදී ඉන් අනතුරුව ඉංගී්‍රසි ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමටද සිදුව තිබේ.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ඉන්දුනීසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපති දර්ශන එම්. පෙරේරා හා ජාතික ඔලිම්පික් කමිටු සභාපති මැක්ස්වෙල් ද සිල්වා යන මහත්වරු එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon