රග්බි ක්‍රීඩා සමාජ හතරකට විදෙස් ක්‍රීඩකයන් තරගකාරිත්වය වැඩි කරන්නයි මේ තීරණය ගත්තෙ _ තරගාවලි කමිටු සභාපති රිස්ලි ඉල්ලියාස් කියයි

  👤  3454 readers have read this article !
By mawbima 2018-08-20

සිරිනාම රාජපක්‍ෂ

එළැඹෙන අන්තර් සමාජ පළමු කොටසේ රග්බි තරගාවලියේදී ඊට සහභාගි වන පහළ මට්ටමේ සිටින ක්‍රීඩා සමාජ හතර සඳහා එක් විදෙස් රග්බි ක්‍රීඩකයෙක් බැගින් ලබා දීමට ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය තීරණය කර ඇතැයි වාර්තාවේ. ඒ අනුව පළමු පෙළ රග්බි කණ්ඩායම් අටක සහභාගිත්වයෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිත අන්තර් සමාජ රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදා , ශ්‍රී ලංකා පොලිස් හා සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. යන කණ්ඩායම් හතර සඳහා විදෙස් ක්‍රීඩකයන් සිවුදෙනකු ගෙන්වා අනුයුක්ත කිරීමට පසුගිය රග්බි සංගම් රැස්වීමේදී තීරණය කර ඇති අතර ඔවුන් වෙනුවෙන් මසකට අමෙරිකානු ඩොලර් 20,000ක පමණ මුදලක් ගෙවීමටත් අදාළ ගුවන් ටිකට් පත් ලබා දීමටත් තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.

මෙම තීරණය හේතුවෙන් වර්තමානයේදී පළමු පෙළ රග්බි තරගාවලිය තුළ සමහර තරගවලදී දිස්වෙන දියාරු තරගකාරී රටාව වෙනස්වී උණුසුම් තරගකාරිත්වයක් මතුකොට තරගාවලියේ ප්‍රමිතිය උසස් මට්ටමකට ගෙන ඒමටද හැකියාව ලැබෙනු ඇත. එනම් තරගකාරිත්වයකින් තොරව පැවැත්වෙන සමහර තරග නැරැඹීමට පවා ඇති අඩු ප්‍රේක්‍ෂක සහභාගීත්වය මෙම තීරණය අනුව වෙනස් කළ හැකි වන බවද රග්බි ක්‍ෂේත්‍රයේ විද්වතුන්ගේ මතයයි. කෙසේ වෙතත් මෙරට පළමු පෙළ රග්බි කණ්ඩායම් අතර සිටින මහනුවර, හැව්ලොක්ස්, සී.එච්. ඇන්ඩ් එෆ්.සී. හා නාවික හමුදා යන ක්‍රීඩා සමාජ කණ්ඩායම් මෙම තීරණයට විරුද්ධ වූ බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් මීට අදාළව පැවැති රැස්වීම අවසානයේ මෙකී ඉහළින් සිටින කණඩායම්ද විදෙස් ක්‍රීඩකයන් ලබා දීමේ අදහසට යම් එකඟතාවක් පළකර ඇතත් ඒ අතර සිටි ඉහළම කණ්ඩායමක් පහළ කණ්ඩායම් හතර අතර සිටින සී.ආර්. කණ්්ඩායමට විදෙස් ක්‍රීඩකයකු ලබා දීම කෙරෙහි විරුද්ධත්වය පළකර ඇත. මේ සම්බන්ධයෙන් අප රග්බි තරගාවලියේ කමිටු සභාපති රිස්ලි ඉල්ලියාස් මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ තරගාවලියේ පැවැත්ම හා ප්‍රමිතිය ගැන සිතා මෙවන් තීරණයක් ගත් බවයි.

තවද මෙවර තරගාවලියට "සුපිරි සතිය" (ඉභනඥප ඹඥඥඬ) නමින් තවත් සතියක් එක් කළ බවත් අවසන් ලකුණු සටහනේ 1 වැනි හා 4 වැනි කණ්ඩායම් අතර තරගයක්ද 2 වැනි හා 3 වැනි කණඩායම් අතර තරගයක්ද මෙන්ම එම තරගවලින් ජයග්‍රාහී හා පරාජිත කණ්ඩායම් අතර තරගද එම අතිරේක සතිය තුළ පවත්වන බවද කී ඉල්ලියාස් මහතා " එම අවසන් සතියේ පවත්වන තරග අනුවයි අපි ශූරයෝ තෝරා ගන්නෙ. සමහර කණ්ඩායම් මේ නව ආකෘතියට විරුද්ධ වුණා. නමුත් එම සියලු දෙනාටම පහදා දුන්නෙ තමන්ගෙ ක්ලබ් එක ගැන පමණක් හිතන්න එපා. තරගාවලිය ගැනයි ඒකෙ ප්‍රමිතිය ගැනයි හිතන්න. මෙහෙම තීරණ ගත්තාම සමහර කණ්ඩායම් ප්‍රතිවාදීන් ගැන බය වෙනවා. එහෙම බය වෙලා තරගකාරිත්වය වැඩි කරන්නයි මටත් ඕන. ක්ලබ්වලට සල්ලි විතරක් තිබිල වැඩක් නැහැ. හරි කළමනාකාරීත්වයකුත් තියෙන්න ඕන. මේ ක්‍රමය අනුව රග්බි ක්‍රීඩාවට හොඳක් මිස නරකක් වෙන්නෙ නැහැ කියල මට විශ්වාසයි" යනුවෙන් පැවැසීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon