උතුරේ ඇති සියලුම යුද ස්මාරක ඉවත් කරන්න උතුරේ මහ ඇමැති ජනපතිගෙන් ඉල්ලයි

  👤  873 readers have read this article !
By mawbima 2018-08-20

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ, මුලතව- ශෂිකුමාර්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට උතුරු - නැඟෙනහිර පළාත් දෙක එක්කොට ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරෙන අන්දමේ දේශපාලන විසඳුමක් ලබාදී ස්ථිර සාමයක් උදා කරන තුරු උතුරේ ඇති සියලුම යුද ස්මාරක ඉවත් කරන මෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කොට තිබේ.

යාපනයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් මෙම ඉල්ලීම ඇතුළත් ලිපිය අගෝස්තු මස 15 වැනිදා ජනාධිපතිවරයාට යැවූ බවයි.

යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල ජයග්‍රහණ විදහා දැක්වෙන ස්මාරක උතුරු ප්‍රදේශයේ ඉදිකොට තිබීම නිසා බාල පරම්පරාවට ඉතා පහත් අන්දමේ වැටහීමක් ඇති විය හැකි බව ප්‍රධාන අමාත්‍යවරයාගේ අදහසයි. ආරක්ෂක අංශ යුද්ධ කොට දෙමළ ජනතාව පරාජය කොට ඔවුන් පමණක් ජය ලබා ඇති බව මෙම ස්මාරක මඟින් නිරූපණය වීම බරපතළ වරදක් බව පවසන ප්‍රධාන අමාත්‍යවරයා රට පුරා ස්ථිර සාමයක් උදාවීමෙන් පසුව ඒ සාමය උදාකරලීමට කැපවූ අයගේ ස්මාරක ඉදි කිරීම සාධාරණ බවද මාධ්‍යවේදීන්ට පවසා තිබේ.

වත්මන් රජයේ අභිප්‍රාය ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කරවීම නම් එක් පාර්ශ්වයක පමණක් මෙවැනි ස්මාරක තැනීම තුළින් කිසිවිටකත් ජාතික සංහිඳියාවක් ඇති නොවන බව පවසන ප්‍රධාන අමාත්‍යවරයා ඉන් ඇතිවෙන්නේ වෛරයක් හා පිළිකුලක් පමණක් බවද කියා සිටියි.

එමෙන්ම මේ ස්මාරකවලින් වැඩි කොටසක් ඉදිකොට ඇත්තේ උතුරේ සාමාන්‍ය දෙමළ වැසියන්ට අයත් ඉඩම්වල නිසා ඔවුන්ගේ සිත් තුළ ඇති වන වෛරය කිසිදා නොසංසිඳෙන බවද ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon