රාජපක්ෂලා යළි බලයට ආවොත් රට ණය අගාධයට ඇද වැටෙනවා

  👤  4672 readers have read this article !
By mawbima 2018-08-21

ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පුළුල් සංවර්ධන සැලැස්මක් ඔස්සේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම රජයේ අරමුණ වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා මොනරාගලදී පැවැසීය.

වත්මන් ආණ්ඩු බලය ලබා ගන්නා විට රට අධික ණය බරක සිරවී සිටි නමුත් සෞඛ්‍ය, අධ්‍යාපන, ජාත්‍යන්තර සබඳතා, සේවා හා කර්මාන්ත යන අංශයන් දියුණු කරමින් රට ක්‍රමානුකූලව ඉදිරියට ගෙන ඒමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා රාජපක්‍ෂ ආණ්ඩුවක් බලයට පත් වුවහොත් සිදුවන්නේ රට නැවතත් ණය වළකට ඇදවැටීම බවද මෙහිදී අවධාරණය කළේය.

මොනරාගල, සියඹලාණ්ඩුව, කොටියාගල ඉදිවූ 107 වැනි ආදර්ශ ගම්මානය වන දෙව්පුදගම ආදර්ශ ගම්මානය විවෘත කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේද පැවැසීය.

''මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛව ඇති කරන ලද ජාතික ආණ්ඩුවට වසර 03ක් ගතවන අද දිනයේදී 'දෙවිපුදගම' ගම්මානයත්, අපනයන ගම්මානයත් විවෘත කිරීමට අපට හැකි වුණා. වෙනත් ආකාරයකින් පවසනවා නම් හුස්ම ගත් වසර 03 අවසන් වන විට කතරගම දෙවිඳුන්ගේ පිහිටෙන් අපට මෙම ගම්මානය ආරම්භ කිරීමට හැකි වුණා. සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා සඳහන් කළ ආකාරයට අපි ඉදිරියේදී මේ ප්‍රදේශයට අවශ්‍ය ජල පහසුකම් ලබාදීමට කටයුතු කරනවා.

මධ්‍යම පාන්තිකයන්ට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක් සජිත් මහතා ආරම්භ කර තිබෙනවා.

සෞඛ්‍ය සේවයේ හෘද රෝග ප්‍රතිකාර සඳහා නොමිලේ ස්ටේටන්ස් ලබාදීම, හොඳම අක්‍ෂි කාච නොමිලේ ලබාදීම, වෙළෙඳපොළේ ඇති අක්‍ෂි කාච 38ක මිල පාලනය කිරීම, පිළිකා රෝගීන්ට රුපියල් ලක්‍ෂ 15ක් දක්වා ලබාදුන් ප්‍රතිකාරය ජීවිතාන්තය දක්වා ලබාදීමට කටයුතු කිරීම, අත්‍යවශ්‍ය ඔෟෂධ 48ක මිල අඩු කිරීම, 1990 'සුවසැරිය' ගිලන් රථ සේවාව දීප ව්‍යාප්තව ආරම්භ කිරීම ආදිය අප ගත වූ වසර 03 තුළ සෞඛ්‍ය සේවය වෙනුවෙන් ගත් පියවර ලෙස හැඳින්විය යුතුයි.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන්ද අප ගෙවුණු වසර 03 තුළ විශාල වැඩකොටසක් සිදු කළා. 'ළඟම පාසල හොඳම පාසල' වැඩසටහන යටතේ ප්‍රාථමික පාසල් 3577ක් ද්විතීයික පාසල් 1,000කත් පහසුකම් වැඩිදියුණු කිරීමට අපට හැකි වුණා. පාසලේ පෝෂ්‍යදායී ආහාර වැඩසටහන යටතේ පාසල් දරුවන් මිලියනයකට ප්‍රතිලාභ ලබාදීමට හැකි වුණා. 'සුරක්‍ෂා රක්‍ෂණ' වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් අප කටයුතු කළා.

ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගනිමින් නැවත වතාවක් යුරෝපීය වෙළෙඳපොළට ඇතුළු වීමට හැකිවීමෙන් ඇඟලුම් අපනයනය වැඩිවී තිබෙනවා. මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීමට හැකි වූ නිසා ධීවර අපනයනයද ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයන් ප්‍රමාණය වූ සංචාරකයන් මිලියන 02ක ප්‍රමාණය වාර්තා වූයේ පසුගිය වසරේයි.

ජීවන වියදම් සහ වෙනත් සහන ලබාදීම්, 2015දී ආරම්භ කළ රුපියල් 2,000ක ගැබිනි මාතා දීමනාව තවදුරටත් ලබාදීමට අප කටයුතු කරනවා. 2014 සමෘද්ධිලාභීන් සඳහා ගෙවන ලද රුපියල් 1,500ක උපරිම සමෘද්ධි දීමනාව රුපියල් 3,500ක් දක්වා වැඩි කිරීමට අප කටයුතු කළා.

රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000න් වැඩි කිරීම, විශ්‍රාම වැටුප් සහ දීමනා වැඩි කිරීම, පොලිස් සේවයේ වැටුප් වැඩිකිරීම, පෞද්ගලික අංශය සඳහා රුපියල් 10,000ක අවම වැටුපක් නියම කිරීම සහ රුපියල් 2,500න් පඩි වැඩිකිරීම,
රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් ශක්තිමත් කිරීමට අප මේ වනවිට පියවර ගෙන තිබෙනවා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීමට අප කටයුතු කළා.

තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කර තිබෙනවා. අතුරුදන් වූවන්ගේ පනත ගෙන එමින් ඒ පිළිබඳ කාර්යාලය ඇති කළා. ජාතික විගණන පනත බලාත්මක කළා.

මාධ්‍ය නිදහස ඇති කර තිබෙනවා. පසුගිය වසර 03 තුළ අප සියලු වැඩකටයුතු ක්‍රමානුකූලව සහ නිශ්ශබ්දව ඉටු කළා. එසේ නොමැතිව ඇඟට දැනෙන වැඩ ආරම්භ කිරීමට නොහැකියි.

පසුගිය ආණ්ඩුව සින්නක්කරව චීනයට ලබාදුන් ගෝල්ෆේස් පිටියේ ඉඩම නැවත ලබා ගනිමින් අවුරුදු 99කට එය බදු දීම අපට හැකි වුණා. ප්‍රධාන මූල්‍ය මධ්‍යස්ථානයක් මූල්‍ය නගරය තුළ ඉදිකරනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. මොරගහකන්ද, කළු ගඟ ව්‍යාපෘතිය ඉදිකර තිබෙනවා. හම්බන්තොට දියුණුව පිළිබඳව වැඩකටයුතු කරමින් සිටිනවා. වයඹ වෙළෙඳ කලාප 02ක් කළුතර, මාතර වෙළෙඳ කලාප ඇති කරනවා. මේ හරහා රැකියා බිහි වෙනවා. මේ ප්‍රදේශයේ දියුණුව ඇති වෙනවාඑම නිසා රාජපක්‍ෂ ආණ්ඩුවක් නැවතත් පත් වුවහොත් රටට සිදුවන්නේ නැවතත් එම ණය තුළට ඇදවැටීම බව මම අවසාන වශයෙන් පවසනවා.''

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon