ආණ්ඩුවට අවශ්‍ය පිළිතුරු ගන්න අනුරලාගෙන් මිස මහින්දගෙන් බැහැ

  👤  3690 readers have read this article !
By mawbima 2018-08-22

ආණ්ඩුවට අවශ්‍ය පිළිතුරු මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලබා ගැනීමට නොහැකි බවත් ඊට සුදුසුම අනුර කුමාර දිසානායක හෝ ආර්. සම්පන්දන් මහත්වරු බවත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා පවසයි.

මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ පෙරේදා (20දා) 'මව්බිම' මහින්ද රාජපක්ෂ මහතාගෙන් රහස් පොලිසිය ප්‍රකාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයෙන් අදහස විමසූ අවස්ථාවේදීය.

එහිදී මන්ත්‍රිවරයා මෙසේද කීය.
මේ ආණ්ඩුව විසින් විපක්ෂය මර්දනය කිරීමේ වැඩපිළිවෙළේ ප්‍රධාන කටයුත්ත කිරීම ආරම්භ කරල තියෙන්නේ. ඒ තමයි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන නායකයන්ට බොරු චෝදනා ඉදිරිපත් කරල අත්අඩංගුවට ගන්න හදන්නේ. එක පාරක් ලසන්ත වික්‍රමතුංග මහතා මරපු එකට චෝදනා කළා. පස්සේ තාජුඩීන් මරණයට හවුල් කරන්න හැදුවා.විවිධ මුහුණුවර යටතේ ඒකාබද්ධ විපක්ෂය මර්දනය කරන්න මේ හදන්නේ. ආණ්ඩුව විශ්වාස කරනවා ඔවුන්ට එරෙහි වන ජනතා බලවේගයන් මේ මඟින් හකුළා ගනී කියලා.

අද ඇතැමුන් විශ්වාස කරන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මහතා ඇත්ත කියපු බව. මොකද ආණ්ඩුවට අවශ්‍ය පිළිතුර දුන්නේ නැති නිසා. ආණ්ඩුවේ අවශ්‍යතා ඉටු කරන්න වෙනම අය ඉන්නවා. ඒකට මහින්ද රාජපක්ෂ මහත්තයා ගාව ගන්න බෑ. එයා උගත් බුද්ධිමත් වැදගත් දේශපාලනඥයෙක් ඒ වගේම නීතිය දන්න නීතිඥයෙක්. ඒ නිසා ආණ්ඩුවට ඕන උත්තර එතුමා දෙන්නේ නැහැ. ඒවාට තමයි අනුර කුමාර දිසානායක, ආර්. සම්පන්දන් ඉන්නේ.

ඇත්ත තත්ත්වය පිළිබඳ තමයි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ. නමුත් රහස් පොලිසිය හදාගෙන ආපු ප්‍රශ්නවලට උත්තර ලැබිල නැහැ.

එහෙම උත්තර ගන්න අමාරුයි. මොකද ඒවාට කල් යයි. අභූත චෝදනාවලට නොකළ වැරැදිවලට මහින්ද මහත්තය උත්තර දිය යුතු නැහැ. අනුර කුමාරලට අමතක වුණාට මේ රටේ යුද්ධයක් තිබුණා, ඒ කාලේ විවිධ ඝාතන වුණා කියලා, අපට ඒවා අද වගේ මතකයි. ඒ කාලේ එක එක මැර කණ්ඩායම් සිටියා. ඔවුන් එක එක විදියට ක්‍රියාත්මක වුණා. ඉතින් එවකට විවිධ අපරාධ සිදු වුණා. ඉතිං ඒ පිළිබඳ එවකට විපක්ෂයේ මන්ත්‍රි කරු ජයසූරිය මහත්තය හිටපු ජනාධිපතිවරයාට දුරකථන ඇමැතුමක් ලබා දීලා තියෙනවා. ඒ 'කීත් නොයාර්' මහතාගේ සිද්ධිය පිළිබඳව. රටේ නායකයා විදියට ඒ පිළිබඳ හොයන්න කියල මහින්ද මහත්තයා කියලා තියෙනවා ඒ අදාළ අංශවලට.
ගමේ හොරකම් වුණහම අපි පොලිසියට කියනවා ඒවා හොයල බලන්න කියලා. අන්න ඒ වගේ එකක් මෙතැන වෙලා තියෙන්නේ.

ඉතිං ඒවා ඒ කාලේ විසඳලා තියෙනවා. නමුත් මං අහනවා අනුර කුමාර දිසානායකගෙන් මහින්ද මහත්තයාට මේ චෝදනා එල්ල කරන්නේ කොහොමද කියලා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති කාලේ 'බුල්ජන්ස්' දේශනයක් කළා කියලා පැහැරගෙන ගියා. ගාමිණී දිසානායකට තමයි එහි චෝදනාව ආවේ. නමුත් ඒ සම්බන්ධව අදත් හෙව්වෙ නැහැ. මං කියන්නේ 'කීත් නොයාර්' කොමිසමක් පත් කරන්න කලින් බුල්ජන්ස් පැහැරගෙන යෑම ගැන හොයන්නත් කොමිසමක් පත් කරන්න කියලා.

නුවන් හෙට්ටිආරච්චි

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon