සුදු අලිද? කොටන් අදින අලිද?

  👤  3755 readers have read this article !
By mawbima 2018-08-22

පළාත් සභා සම්බන්ධ කතිකාව යළිත් කරළියට පැමිණ ඇත්තේ පළාත් සභා මැතිවරණවල කාලය ඉකුත් වීමට දින ළංවී ඇති නිසාය. පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතු කාලය සැප්තැම්බරයේ සිට ආරම්භ වන නමුත් පළාත් සභා මැතිවරණ ක්‍රමයේ සංශෝධනය හේතුවෙන් මෙම වසර අවසන් වනතුරුම මැතිවරණයක් බලාපොරොත්තු වීම උගහටය. දීර්ඝ කාලයක් නොගෙන සුළු ප්‍රමාද වීමකින් හෝ නව මැතිවරණ ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වීම රටේ පැත්තෙන් හා මහජනතාවගේ පැත්තෙන් දීර්ඝකාලීනව වාසිදායකය.

පළාත් සභා යනු සුදු අලියකු බවට සමාජගත කර වසර 30ක්ගත වෙයි. සැබැවින්ම පළාත් සභා සුදු අලියෙක්ද? පළාත් සභා සම්බන්ධ මවන බිල්ලා පෙන්වන තරම් බියකරුද යන්න විමසා බැලීම ඉතා වැදගත් යැයි සලකමි.

දැනට පවත්නා පළාත් සභා සංයුතිය අනුව සමස්ත මන්ත්‍රි සංඛ්‍යාව 437කි. දකුණ 55ක්ද, බස්නාහිර 104ක්ද, මධ්‍යම 58ක්ද, උතුර 38ක්ද, නැඟෙනහිර 37ක්ද, වයඹ 52ක්ද, උතුරු මැද 33ක්ද, උෟව 34ක්ද, සබරගමුව 44ක්ද වශයෙන් එය බෙදී යයි. පළාත් සභාවක ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළුව ඇත්තේ අමාත්‍යවරු 05ක් පමණි.

නියෝජ්‍ය අමාත්‍යවරු නැත. පළාත් සභාවේ සභාපති, නියෝජ්‍ය සභාපති, ආණ්ඩු පක්‍ෂ සංවිධායක, විපක්‍ෂ නායක සහ විපක්‍ෂයේ සංවිධායක, සභා නායක ආදී තනතුරු කිහිපයක්ද වෙයි. පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයකුට කැබිනට් අමාත්‍යවරයකු හා සමාන බලතල, වරප්‍රසාද හිමිවන අතර පළාත් සභා අමාත්‍යවරයකුට නියෝජ්‍ය අමාත්‍යවරයකු හා සමාන වරප්‍රසාද හිමිවෙයි. පළාත් සභා මන්ත්‍රිවරයකු වාර්ෂිකව නඩත්තු කිරීම වෙනුවෙන් රුපියල් තිස්එක් ලක්‍ෂ විසිහතර දහසක (රු. 31,24,000) පමණ මුදල් වැය වේ. මීට අමතරව වසර 05ක කාලය වෙනුවෙන් තීරුබදු රහිත වාහන බලපත්‍රයක් හිමිවන අතර රජයේ වියදමෙන් විදේශ සංචාර දෙකක්වත් අවම තරමෙන් හිමි වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට වඩා බොහෝ විට ජනතාවට සමීප වන්නේ පළාත් සභා මන්ත්‍රිවරයා ය. ගමේ පාර හදන්නට, පොදු නාන ළිඳ හදන්නට, ඇළ වේලි පිළිසකර කරන්නට, ග්‍රාමීය සමිති හෝ සංවිධාන වෙත අවශ්‍ය සම්පත් ලබා ගන්නට, පාසලේ අඩුපාඩු හදාගන්නට, ආගමික ස්ථානයේ අඩුපාඩු කියන්නට ඇතුළු බොහෝ දුක්ගැනවිලි අහන්නට ඉන්නේ පළාත් සභා මන්ත්‍රිවරයා ය. පළාත් සභා මන්ත්‍රිවරුන්ට මේ කටයුතු වෙනුවෙන් විමධ්‍යගත ප්‍රතිපාදන හෙවත් උපමාන පාදක අරමුදල් හිමිවෙයි. බොහෝ පළාත් සභා ආණ්ඩු පක්‍ෂයට වැඩි ගණනකුත් විපක්‍ෂයට අඩු ගණනකුත් ලබාදීම සිදුවෙයි. (මා දකුණු පළාත් සභාව නියෝජනය කළ සමයේ මීට එරෙහිව මානව හිමිකම් කොමිසමටද ගියෙමි. මේ වන විට එම සභාවේ සියලු පක්‍ෂවල මන්ත්‍රිවරුන්ට සමානව ප්‍රතිපාදන ලැබෙන බව දැනගන්නට ලැබී ඇත.) කෙසේ නමුත් බස්නාහිර පළාතේ නම් වාර්ෂිකව රුපියල් ලක්‍ෂ 50ක ප්‍රතිපාදන ලබාදෙයි. අනෙකුත් පළාත් සභා ලක්‍ෂ 40, 30 ආදී ප්‍රමාණයන්ගෙන් විමධ්‍යගත ලබා දෙයි.

ජනතාවට පළාත් සභා මන්ත්‍රිවරයා පේන්නේ මේ විමධ්‍යගත ප්‍රතිපාදන තුළින් කුමක් හෝ සංවර්ධන කටයුත්තක් කරන නිසාය. ඇත්තටම පළාත් සභාවට ඊට එහාට ගිය වැඩ රාජකාරි ගොන්නක් ඇත. අවුරුදු 30ක් පුරා යන්නන් වාලේ ගිය පළාත් සභා නම් සුදු අලියෙක් බව රහසක් නොවේ. මන්ද යත් පළාත් සභා මන්ත්‍රිවරු ටික නඩත්තු කරන්න මිලියන 81,930කට වැඩි මුදලක් ඒ වසර 05ට මහජන මුදලින්වැය කරන හෙයිනි. ඒත් පළාත් සභාවල හරයාත්මක කාර්යභාරය ඉටු කරනවා නම් රට මේ තරම් ආපස්සට නොයන බවද නොරහසකි.

පසුගියදා මම උතුරු පළාතේ දිස්ත්‍රික්ක කිහිපයකම ජනතාව හමු වුණෙමි. පළාත් සභාව මඟින් සිදුවන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් විමසූ විට කියා සිටියේ සිංහල ආණ්ඩුව පළාත් සභාවට මුකුත් කරන්න බලයක් දෙන්නේ නැති බවවිග්නේශ්වරන් මහ ඇමැතිවරයා කියන බවයි. මේ කතාවම අනෙකුත් පළාත්වල ඇතැම් මහ ඇමැතිවරුද වෙනත් ආකාරයකින් කියනු මම අසා ඇත.

පළාත් සභාවන්ට කළ හැකි දෑ කියන්නට පෙර පළාත් සභාවන්ට මේ ඉරණම අත්වීමට හේතු වූ කාරණාවන් ඉදිරිපත් කිරීම වඩා වැදගත් බව අදහස් කරමි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කළ 13 වැනි සංශෝධනය පරිදි 1988 පෙබරවාරි 03 දින එවකට ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා රටේ පළාත් අටක මැතිවරණය ගැසට් කළේය. දිවයිනේ පළාත් නවය වෙනුවට පළාත් අටක් සඳහා නාම යෝජනා කැඳවීමට හේතු වූයේ උතුර හා නැඟෙනහිර පළාත් ඔහු විසින් ඒකාබද්ධ කරනු ලැබීමය. එසේම ඔහු මහජන ආරක්‍ෂක අඥාපනත යටතේ නිකුත් කළ තවත් නියෝගයක් අනුව මැතිවරණ කැඳවා දින කිහිපයකින් මාර්තු 02 හා උතුර - නැඟෙනහිර, බස්නාහිර, මධ්‍යම හා දකුණ යන පළාත් හතරේ මැතිවරණ කල් දැමුවේය.

කල් දැමූ පළාත් අතරින් උතුර - නැඟෙනහිර අනෙකුත් පළාත්වල මැතිවරණ 1988 අප්‍රේල් මාසයේ පැවැත්විණි. ජයවර්ධන ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණ කඩින් කඩ පවත්වන්නට යෙදුණේ ඔහු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන ලද සංශෝධනය අනුවය. 13 වැනි සංශෝධනයට අනුව වෙනස් වෙනස් පළාත් සභා ඡන්ද වෙනම පැවැත්වීමට තිබුණු අවකාශය මෙහිදී ඔහු යොදා ගත්තේය. මෙලෙස එක් එක් පළාත් සභාවන්ගේ කල් ඉකුත්වීම වරින් වර සිදුවීම නිසා පළාත් සභා ඡන්ද වරින් වර පැවැත්වීමට සිදුවීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්ව ඇත.

ආරම්භක පළාත් සභා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ හා එයට අනුබද්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය එක්ව මැතිවරණය කඩාකප්පල් කිරීමේ ව්‍යාපාරයක් ගෙන ගියේය. ඒ සඳහා ඔවුන් ඡන්ද අපේක්‍ෂකයන්, ඡන්ද දායකයන් හා මැතිවරණ නිලධාරීන් බියවැද්දීම මෙන්ම ඝාතනය කිරීම කරනු ලැබීය. එසේම මැතිවරණ නිලධාරීන් ගමන් කළ දුම්රියවලට වෙඩි තැබීම, පාරවල් හරහා ගස් කපා හෙළීම, ග්‍රාම නිලධාරි කාර්යාල ගිනිබත් කිරීම පමණක් නොව වෙළෙඳසල් වසා තැබීමට නියෝග කොට මැතිවරණ නිලධාරීන් නිරාහාරව තැබීමටද ඔවුහු ක්‍රියා කළහ. එම මැතිවරණයට එවක ප්‍රධාන විපක්‍ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තරග නොකළ අතර වමේ පක්‍ෂ තරග කළහ.

මෙහි වැදගත්ම කාරණාව නම් එ.ජා.ප.ය ඉදිරිපත් කළ අපේක්‍ෂකයන්ය. නව ක්‍රමය හඳුන්වා දෙද්දී පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ධුරයන්ට තරග කිරීමට එවක පාර්ලිමේන්තුවේ සිටි එ.ජා.ප.යේ ප්‍රබලම ඇමැතිවරු/ මන්ත්‍රිවරු ඉදිරිපත් කිරීමට ජයවර්ධන ජනාධිපතිවරයා වගබලා ගත්තේය. ඒ අනුව දකුණට හිටපු නාවික කටයුතු අමාත්‍යවරයකු වූ එම්.එස්. අමරසිරි, බස්නාහිරට පරිණත දේශපාලනඥයකු වූ සිසිල් මුණසිංහ, උෟව පළාතට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වූ පර්සි සමරවීර, මධ්‍යම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වූ ඩබ්.එම්.පී.බී.දසනායක, වයඹ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා, උතුරු මැදට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වූ ජී.ඩී. මහින්දසෝම, සබරගමුව ජී.වී. පුංචිනිලමේ ආදී දේශපාලනයේ වැඩක් කළ හැකි පතාකයන්ය. ශ්‍රී ල.නි.ප.ය මැතිවරණය තරග නොකරන වටපිටාවක ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රබලම දේශපාලනඥයන් මහ ඇමැතිවරුන් කළේ එමඟින් කළ හැකි කාර්යභාරය ගැන මනා අවබෝධයක් තිබූ නිසාය. සැබැවින්ම පළාත් සභා ඉතිහාසය සුපරික්‍ෂාකාරීව බැලුවහොත් සාපේක්‍ෂව වැඩි වැඩකොටසක් කර ඇත්තේ එම පාලන අවධිය තුළයි. ඒ දේශපාලනයේ බංකොළොත් පුද්ගලයන් හෝ දේශපාලනයේ හසරක් නොදන්නා හුදු ජනප්‍රිය චරිත පමණක් උපයෝගි කර නොගත් නිසාය.

දෙවැනි පළාත් සභා මැතිවරණය පැමිණෙන්නේ ලාංකේය දේශපාලනයේ සුළි කුණාටුවක් හමා ගිය යුගයකය. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයෙන් පසුව ලලිත්, ගාමිණී, ප්‍රේමචන්ද්‍ර ආදී පතාකයන් එ.ජා.ප.යෙන් වෙන්වී ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය පිහිටුවා ගත් වකවානුවේය. ලාංකේය දේශපාලනයේ පළාත් සභා නමැති නෞකාවේ දිශාව වෙනතක ගමන් කිරීම ඇරැඹෙන්නේ මෙතැන් සිටයි. 93-94 පළාත් සභාවන්හි තේමාව වන්නේ පළාත් සභාවන්හි කාර්යභාරය නොව 17 වසරක ශාපකාරී ආණ්ඩුව පෙරළීම, ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහි ජනමතය පෙන්වීම, ආදී කරුණුය. මේ මැතිවරණයේදී දකුණු, වයඹ බස්නාහිර යන පළාත් තුනක බලය එ.ජා.ප.යෙන් ගිලිහෙයි. බස්නාහිර මහ ඇමැතිනිය ලෙස පත්වූ චන්ද්‍රිකා මැතිනිය අගමැතිනිය වී ජනපති වීමත්, දකුණ මහ ඇමැති වූ අරමසිරි ‍ෙදාඩංගොඩ මහතා පාර්ලිමේන්තු යෑමත්, වයඹ මහ ඇමැති වූ ජී.එම්. ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය වීමත් සිදුවිය. ඉන්පසු එම පළාත් සභා මහ ඇමැතිවරුන් ලෙස පත්වූ අය වෙතින් පළාත් සභාවක කාර්යභාරය සිදුවන්නේ යැයි කිව නොහැකිය. එවක පොදු පෙරමුණු ආණ්ඩුව සමයේ එ.ජා.ප. මහ ඇමැතිවරුන්ව සිටි අනෙක් පළාත් සභා පාලනය බිඳදැමීම එවක පොදු පෙරමුණේ දේශපාලන අවශ්‍යතාව විය. 1998-99 මැතිවරණ මතක ඇති සියලුම දෙනා එම මැතිවරණ ජයගත් ආකාරය දනී.

1993 සිට පළාත් සභා මැතිවරණ ආණ්ඩුවේ ජනප්‍රියත්වය උරගා පෙන්වීමට හෝ ආණ්ඩු බලය පෙරළීමට කදිම අවස්ථාවක් හා මෙවලමක් පමණක්ම විය. 2004 ආණ්ඩු පෙරළීමට, 2008-2009 යුද්ධයට ජනමතයක් ගන්නට, 2013-2014 ආණ්ඩුවේ ජනප්‍රියතාව හා ජාත්‍යන්තරයට ජනබලය පෙන්වීමට, විපක්‍ෂය නම් ආණ්ඩු පෙරළීමට ආදී ලෙස පෙන්වා දිය හැකිය. මේ සඳහා ප්‍රධාන පක්‍ෂ අපේක්‍ෂකයන් ඉදිරිපත් කළේම ඒ සඳහාය. මේ නිසා පළාත් සභාවන්ගෙන් සේවාවක් නොවීම අරුමයක් නොවේ. පළාත් සභා යනු නවක දේශපාලනඥයන්ට පාර්ලිමේන්තුවට යන්නට පෙර ඉගෙන ගන්න මොන්ටිසෝරියක් හා තාවකාලික අම්බලමක් ලෙසත් පාර්ලිමේන්තුව පැරැදුණු දේශපාලනඥයන්ට වැඩිහිටි නිවාසයක් ලෙසත් මෙය උපයෝගි කර ගැනිණි.

පළාත් සභාවට සැබැවින්ම කළ හැක්කේ මොනවාදැයි දැන් සැකෙවින් විමසමු. පළාතේ ජාතික පාසල්/ මධ්‍ය මහා විද්‍යාල හැර අනෙක් සියලුම පාසල් එනම් මහා විද්‍යාල, කනිෂ්ඨ විද්‍යාල, ප්‍රාථමික විද්‍යාල, නවෝද්‍යා පාසල් ආදී සියල්ල පළාත් සභාවට අයත්ය. මේවායේ භෞතික හා මානව සම්පත් සංවර්ධන කටයුතු අයත් වන්නේ පළාත් සභාවටය. ගතවූ වසර 30 තුළ පළාත් සභා කාලේ මේවාට මුරකරුවන් දැමීමත්, පුස්තකාල සහායකයන් දැමීමත් ආදී රස්සා දීමත් ඉදිකිරීම් සිදුකිරීමත් පමණකි. මෙම පාසල් පද්ධතිය ක්‍රමවත් කළේ නම් පළමු ශේ‍ර්ණියට දරුවන් ඇතුළත් කිරීම ජාතික ගැටලුවක් තරම් ගැටලුවක් වී විදුහල්පතිවරු දූෂිතයන් අතර ඉහළ තැනකට යන්නේ නැත. මේ පාසල්වල අධ්‍යාපනය බරපතළ ලෙස බිඳවැටුණු නිසාම ගතවූ වසර 30 තුළ උපකාරක පන්ති වැහි වහින්නට ගත්තේය. මේ අනුව පළාත් සභා තමන් සතු වගකීම ඉටු නොකර විධිමත් ප්‍රතිපත්තියක් මත කටයුතු නොකළ නිසා අධ්‍යාපන විෂයෙන් සුදු අලියෙක් විය.

ජාතික රෝහල්, ශික්‍ෂණ රෝහල්, හමුදා රෝහල් හැර ග්‍රාමීය රෝහල, දිසා රෝහල, ඩිස්පැන්සරිය, ආයුර්වේද රෝහල හා දේශීය වෙදකම අයත් වන්නේ පළාත් සභාවටය. මේ රෝහල්වලට ඔෟෂධ බෙදාහැරීම හැර අන් සියලු කටයුතු පළාත් සභාවන්ට අයත්ය. මේවායේත් සුළු සේවකයන් බඳවා ගැනීම හා ගොඩනැඟිලි ඉදිකිරීම්, තමන්ගේ ප්‍රතිරූප පුම්බා ගැනෙන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හැර අර්ථවත් දෙයක් සිදුවූවා නම් ගම්වල මිනිස්සු නගරයේ රෝහල් වෙත පෝලීමේ යෑමටත්, පෞද්ගලික චැනලින් සේවා සොයා යෑමටත් වුවමනා නැත. මේ පරිවර්තනය සිදුවුණේ ගත වූ වසර 30 දී බව නොරහසකි.

ආහාර හා සමුපකාර විෂය සම්පූර්ණයෙන්ම අයත් වන්නේ පළාත් සභාවයටය. ගත වූ තිස් වසර තුළ සමුපකාර ක්‍ෂේත්‍රයට සිදුවූයේ කුමක්දැයි සියල්ලෝම දනිති. සමුපකාරය යන වචනය කියන විටත් ජනතාවගේ මුහුණ කැතවෙයි. පළාත තුළ ආහාර ප්‍රවර්ධනය හා සුරක්‍ෂිත කිරීමද පළාත් සභාවේ කාර්යයකි.

අනෙකුත් ක්‍ෂේත්‍රයන්ගේ තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මකව සඳහන් නොකළත් ක්‍ෂේත්‍රයන් පිළිබඳ කෙටියෙන් සඳහන් කිරීම වැදගත් කොට සලකමි. පළාත තුළ විදුලි බලය නිෂ්පාදනය කිරීමද, පළාතේ කෘෂිකර්මය, ප්‍රවාහන, මහාමාර්ග, යටිතල පහසුකම්, ජලසම්පාදන, වාරිමාර්ග, ධීවර, පශුසම්පත්, ක්‍රීඩා, ග්‍රාම සංවර්ධන, සංචාරක, සමාජ සේවා, නිවාස, සංස්කෘතික, පළාත් පාලන, නීතිය හා සාමය, ඉඩම් ඇතුළු බොහෝ විෂයයන්හි කටයුතු කිරීමට පළාත් සභාවන්ට හැකිය. පළාත තුළ ආදායම් උපදවා ගැනීමට තරම් නිර්මාණශීලී අදහස් දේශපාලන මොන්ටිසෝරි සහ දේශපාලන වැඩිහිටි නිවාසවල දේශපාලනඥයන්ට නැති වීම පුදුමයක් නොවේ.

ආරක්‍ෂක හමුදා බලතල, පළාත් දෙකක් අතර ගුවන් සේවා, පළාත් දෙකක් අතර නාවුක ගමනාගමනය, විදේශ කටයුතු ආදී වූ නිශ්චිත බලතල කිහිපයක් හැරුණුවිට පළාත් සභාවකට ඇති බලතල නිසි ලෙස ක්‍රියාවට යොදවයි නම් තම වගකීම් හා කාර්යභාරය නිසි ලෙස සිදු කරයි නම් රටේ මේ තරම් ගැටලු උග්‍ර වන්නේ නැත.

ඉදිරි මැතිවරණය කොට්ඨාසයට වගකියන මන්ත්‍රිවරයකු පත්වන මැතිවරණයක් වනු ඇතැයි අපි තවමත් විශ්වාස කරමු. එයත් ආණ්ඩු පෙරළීමට හෝ වෙනයම් දේකට හෝ භාවිත කිරීමේ කිසිම තේරුමක් නැති බව ජනතාව වසර 30ක අත්දැකීමෙන් හෝ අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි. උත්තරීතර පරමාධිපත්‍ය බලය සතු වන්නේ ජනතාවටයි. පළාත් සභා ගතකළ වසර 30 පිළිබඳව තක්සේරු කර එම ක්‍රමයම අනුගමනය කර තවත් වසර 05ක් ගත කරනවාද නැතිනම් පළාත් සභාවේ හරයාත්මක අගය දන්නා පක්‍ෂ සහ පුද්ගලයන් තම ප්‍රදේශයෙන් පළාත් සභාවට පත් කරනවාද යන්න ජනතාවම තීරණය කළ යුතුය.

අවසාන වශයෙන් කිවයුතු වන්නේ ඉහතින් දැක්වූ කරුණු අනුව ලංකාවේ දුප්පත් ග්‍රාමීය ජනතාවට සෑම අතකින්ම අහිතකර ජීවන තත්ත්වයක් උදාවීමට 60%ක්ම වගකිව යුත්තේ පළාත් සභා පාලනයන් බවයි. එයට ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක තුනටම වැඩපිළිවෙළක් නොමැති බව ජනතාව තේරුම් ගත යුතුය. එමෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සියුම්ව විශ්ලේෂණය කර බැලූ විට ඉදිරි පළාත් සභා මැතිවරණයේදී කිසිදු දේශපාලන පක්‍ෂයකට තනිව පළාත් සභාවක බලය පිහිටුවීමට නොහැකි බවද පෙනී යයි. එහිදී තවත් දේශපාලන පක්‍ෂයක් සමඟ එක්වී සභාවක් පිහිටුවීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය. බුද්ධිමත් ජනතාව දැන් කළ යුත්තේ පළාත් සභා සුදු අලි, කොට අදින අලි දක්වා පරිවර්තනය කළ හැකි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන මධ්‍යස්ථ ප්‍රායෝගික දේශපාලන පක්‍ෂ ශක්තිමත් කර එම ප්‍රතිපත්ති ප්‍රධාන පක්‍ෂ ලවා ක්‍රියාත්මක කර ගැනීමට පෙලඹවීම බව මාගේ හැඟීමයි.

මෛත්‍රි ගුණරත්න
ප්‍රධාන ලේකම්
එක්සත් ජාතික නිදහස් පෙරමුණ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon