මහින්ද-රනිල් දෙන්නා ගැන කතා කරන්න බැහැ

  👤  3773 readers have read this article !
By mawbima 2018-08-22

මහින්ද ගැන කතා කළොත් කියන්න වෙන්නේ හොරකම් ගැන. රනිල් ගැන කතා කළොත් කියන්න වෙන්නේ විකිණීම් ගැන. ඒ නිසා අපි මහින්ද ගැනවත්, රනිල් ගැනවත් කතා කරනවාට වඩා අපි කරන්න බලාපොරොත්තු වෙන දේවල් ගැන කතා කිරීම හොඳයි කියලා හිතුණා. මොකද වසර හැත්තෑවක් තිස්සේ මේ කල්ලි දෙකටම රට හදන්න බැහැ කියලා ඔප්පු කරලා තියෙනවා යැයි ජවිපෙ නායක අනුර කුමාර පවසයි.

දිසානායක මහතා එසේ පැවැසුවේ බෙන්තොට තුන්දූවේදී පැවැති ජන හමුවකදීය.
දිසානායක මහතා මෙසේද පැවැසීය.

රනිල්, බැසිල්, මහින්ද, රවි වැනි අය ගැන දැන් අපි වැඩිය කතා කරන්නේ නැහැ. කතා කරලා වැඩකුත් නැහැ. අපට කතා කරලාම ඇති වෙලා. අපට විතරක් නෙවෙයි, ජනතාවටත් ඒවා අහලා ඇති වෙලා. ඒ නිසා අප තීරණය කෙරුවා මේ වගේ ඡන්ද නැති කාලයකදී ජනතාවත් සමඟ ජනහමු 10,000ක් පවත්වන්න. පසුගිය ජූලි සිට ලබන ජනවාරි දක්වා අපි ඒ ජනහමු පවත්වනවා.

මහින්දට විධායකය, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක, පළාත් සභා, ප්‍රාදේශීය සභා, සියල්ලම තිබිලත් වසර දහයක් තිස්සේ රට හදන්න බැරි වුණා. රනිලුත් දැන් වසර තුනහමාරක් තිස්සේ තමන්ට රට හදන්න බැරි බව ඔප්පු කරමින් සිටිනවා. තවදුරටත් ඒ ගැන සංවාද තියලා වැඩක් නැහැ. හැබැයි, ජේවීපී එක ගැන සාමාන්‍ය ජනතාව හිතන්නේ වෙනස් විදියකටයි. ජේවීපී එක හොරකම් කරන්නේ නැහැ. නාස්ති වැඩ කරන්නේ නැහැ. ඒ දෙකටම විරුද්ධයි. ජනතාවට ප්‍රශ්නයක් ආවාම ඒකටත් මැදිහත්වෙනවා. ඒත් ජේවීපී එක ගැන එහෙම හිතුවට රට හදන්න දෙන්න අවස්ථාවක් ආවාම හිතන්නේ ඒක කරන්න පුළුවන් රනිල්ටයි, මහින්දටයි විතරයි කියලයි. ඒක වැරැදියි.

මේ රටට පිටරටින් වසරකට බඩු ගේන්න යන වියදම ඩොලර් කෝටි 2000යි. ඒත් අපේ බඩු පිටරටට විකුණලා ලැබෙන ආදායම ඩොලර් කෝටි 1,000යි. එවැනි විශාල ආනයන අපනයන පරතරයක් ඇති කිරීමේ පූර්ණ ගෞරවය මේ වසර හැත්තෑවේ රට කරවූ ඇත්තන්ට හිමි වෙනවා. රටේ නිෂ්පාදන කඩා වැටිලා. රටට අවශ්‍ය මිරිස්වලින් 72%ක්, සීනිවලින් 93%ක්, කිරි හා කිරිපිටිවලින් 83%ක්, රෙදි සියල්ලත්, පිටරටින් ගෙන්වනවා. වසර හැත්තෑවක් යනකොට කිසිවක් නිපදවන්නේ නැති රටක් බවට පත් කරලා. ජිල් බෝල් තරමට ගුළි හදලා ගිලලා එදා කුඩු ගෙනා රටේ අද වන විට කුඩු ගේන්නේ කන්ටේනර්වලින්.

පසුගිය වසරේදී අවුරුදු 16ට අඩු දැරියන් 1,200ක් මේ රටේ දූෂණයට ලක්වෙලා. වාහන අනතුරු 30,000ක් සිදුවෙලා. රටේ විනයක් නැහැ. නීතියක් නැහැ. රුපියල් 25,000ට වැඩි කොල්ලකෑම් 4,000ක් වසරකට වෙනවා. වසර හැත්තෑවක් ගියත් රටේ ජාතික සමඟිය ඇති කරන්න බැරි වෙලා. දරුවන්ට සමාජ රැකවරණයක් නැහැ. දැවැන්ත කොන්ක්‍රීට් වනාන්තර හැදීම සංවර්ධනය නෙවෙයි. ගම්වල සිංහල ජනතාව අද බැංකුවලට ණය වෙලා. ණය ගෙවා ගන්න බැරිව අන්තිමට මිනිස්සු සියදිවි හානි කර ගන්නවා.

ආණ්ඩුවේ වාර්තාවලට අනුව රටේ නිෂ්පාදනවලින් 52%ක් බස්නාහිර පළාතෙන් සිදු කෙරෙන විට ඉතිරි පළාත් සියල්ලේම නිෂ්පාදනය වන්නේ 48%යි.

අද මේ රටේ අධ්‍යාපනය තියෙන්නේ කොතැනද? දරුවා පාසලට භාර දෙනකොටම ටියුෂන් පන්තියකටත් භාර දෙනවා. නිරෝගී සම්පත් ජීවිතයකට අවශ්‍යයි. අද රටේ වයස අවුරුදු විස්සට වැඩි අය 25%කට කුමන හෝ බෝ නොවන රෝගයක් තිබෙනවා.

මහින්ද වසර දහයක් රට පාලනය කළා. දැන් හදන්නේ මැරෙන්න කළින් යළි බලය අරන් පුතාට භාර දෙන්නයි. තමුන්නාන්සේලා වෙළෙඳසලක් කළොත් තමන්ගෙන් පස්සේ ඒක කරගෙන යන්න පුතාට භාර දෙනවා. ඉතින් ඒ දෙකම සමානයි.

වසර 70ක් තිස්සේ මේ රටේ ව්‍යාපාරයක් බවට පත් කර ගෙන තිබූ දේශපාලනය වෙනස් කරමු. මේ රට හදන්න නම් ඔබ සියලු දෙනාගේ සහයෝගය අපට අවශ්‍යයි.

බෙන්තොට - ඇම්. මීගහපළ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon