රාජපක්‍ෂ පවුලේ අයකු බලයට ආවොත් තම දරුවන්ගේ දේශපාලන අනාගතය බොදවෙයි කියා මහින්ද බය වෙලා

  👤  3687 readers have read this article !
By mawbima 2018-08-22

මාතරින්, ගාල්ලෙන් තබා ඉන්දියාවෙන් කට්ටඩි ගෙන ආවත් ගෙවල් හැර නොයන භූතාත්මයන්සේ ජනාධිපතිකම අතහැර මන්ත්‍රි ධුරයකට පත් මහින්ද රාජපක්ෂ දැන් තුන්වැනි වතාවටත් ජනාධිපති ධුරයට පත්වීමේ ආශාව සමාජයේ කතාබහට ලක්ව ඇති මාතෘකාවක් වී ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් පවසයි.

හිටපු ජනාධිපතිවරයකුගේ අභිමානයට නිගාදෙමින් මන්ත්‍රිවරයකු වූ මහින්ද රාජපක්ෂ මහතා, නැවතත් තම ආත්ම ගෞරවය කෙලෙසා ගනිමින් 2020 ජනාධිපති ධුරයට කෑදර ලෙස ඉව අල්ලන්නේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ගෝඨාභය, බැසිල්, ශිරන්ති හා චමල් ඇතුළු රාජපක්ෂ පවුලේ අයගේ නම් සඳහන් වූ පසුබිමක වීම ජනතාවගේ විමතියට කරුණක්ව ඇතැයිද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ඊයේ (21දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකළ මන්ත්‍රිවරයා ගෝඨාභය, බැසිල්, චමල් හෝ රාජපක්ෂ පවුලේ අයකු බලයට පැමිණියහොත් තම දරුවන්ගේ දේශපාලන අනාගතය බොඳවී යනු ඇතැයි මහින්ද රාජපක්ෂ මහතා තුළ බියක් හටගෙන ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

ගෝඨාභය පිළිබඳව අප බියකින් පසුවන බව ඒකාබද්ධ විපක්ෂය කියනවා. ගෝඨාභය රාජපක්ෂ ගැන විශාල බියකින් ඉන්නේ මේ රටේ ජනතාව. ඒ රාජපක්ෂ පාලනය තුළ ලැබූ අත්දැකීම් ජනතාවට අමතක නොවන නිසා. මහින්ද රාජපක්ෂ පවුලේ දරුවන් බලයට ගේන්න බැරිවෙයි කියන බය නිසා කිසි කෙනෙක් ඉල්ලන්න එපා. මට ආපසු ජනාධිපතිවරණය ඉල්ලන්න තියනවා කියලයි මහින්ද රාජපක්ෂ මහතා නොකියා කියන්නේ. ඒ අයගේ දේශපාලන බලය සීතල වන විට එය උණුසුම් කර ගැනීමට මොකක් හරි කාරණයක් ගේනවා. හරියට හෝටල්වල ටුඩේ ස්පෙෂල් වගේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහින්ද අගමැති කරන්න පොහොට්ටුවට ඡන්දය දෙන්න කිව්වා. 11දා මහින්ද අගමැති වෙනවා කීවා. පොහොට්ටුවට ඡන්දය දුන්නා. නමුත් මහින්ද 11දා අගමැති වුණාද? එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ඡන්දයේදී ගම හදන්න ඡන්දය දෙන්න කියලයි කීවේ. ඊට පස්සේ මොකද කීවේ පෝය දෙකෙන් බලය අල්ලනවා කියලයි. පෝය කීයක් ගතවුණාද? වෙඩිමුර කීයක් පත්තු කළාද? පාගමන් කීයක් ගියාද? ජනඝෝෂා, විරෝධතා කීයක් නම් කළාද? මොකුත් වුණේ නැහැ.

ඒකාබද්ධ විපක්ෂය එතැනමයි. අපේ ආණ්ඩුව ඉදිරියට යනවා ගලන ගඟ වගේ. දවස ගාණේ අලුත් මාතෘකා ගෙනාවත් වැඩක් වුණේ නැහැ. දැන් සැප්තැම්බර් 5දා මහ සෙනඟක් කොළඹට ගේනවා කියලා පාරම්බානවා. නුගේගොඩට, ගෝල්ෆේස් එකටත් ඔය කියන සෙනඟ ගෙනාව වැඩක් වුණේ නැහැ. දැන් ගෝඨාභයයි බැසිලුයි. ඇමෙරිකාවේ එයාලගේ ගමේ ගිහින්. හරියට කොළඹ අය දවසක් දෙකක් ගත කරන්න ගමේ වන්නට යනවා වගේ.

ඒ වගේම හරිමඟ, වියත් මඟ, එළිය ආදී එදාවේල ටුවර්ස් වැඩසටහන්වලට මොකද වුණේ? එළිය සමඟ පියාසර කළ සමනලයන් පළගැටියන් එළිය නිවුණු පසු කොහාටද යන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තය මාධ්‍ය ප්‍රකාශකයකුත් පත්කර ගත්තා. මහින්ද රාජපක්ෂ මහත්තයා ආයෙත් එනවට උදය ගම්මන්පිලත් කැමැති නැහැ. ගෝඨාභය වටේ හිටි අයට දැන් වැඩ නැහැ. ඩියුටි ඕෆ්. මහින්ද මහත්තයා මේ නොබෝදා එයාගේ පෞද්ගලික ලේකම් උදිත ලොකු බණ්ඩාරට කතා කළ ආකාරය මුළු රටම බලා හිටියා. සමාජ වෙබ් ජාලවලින් මෙම සිද්ධිය උපහාසයට ලක් කළා. මුළු රටම හිනාවුණා. මහින්ද මහත්තයේ සැබෑ චරිතය එදා එතුමාටත් හොරා එළියට පැන්නා. ඒකාබද්ධ විපක්ෂයේම අය මෙම සිද්ධිය හෙළා දැක්කා. තමන්ගේ සමීපතමයන් මහ දවාලේ මෙසේ හෑල්ලුවට ලක් කිරීම මහින්ද රාජපක්ෂ වැනි නායකයෙක් නොකළ යුත්තක්.


ඒ විතරක් නෙවෙයි කීත් නොයාර් මාධ්‍යවේදියාට පහරදීම සම්බන්ධයෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරන විට මම දන්නේ නැහැ. මට මතක නැහැ. මම දැක්කේ නෑ කියලයි මහින්ද මහත්තයා පිළිතුරු දුන්නේ. අපේ සමහර අයත් එවැනි උත්තර දුන්නා. 2020 ජනාධිපතිවරණයටත් ඉල්ලන්න සූදානම් වන මහින්ද රාජපක්ෂ මහත්තයාත් අමතක වීමේ රෝගයට ගොදුරු වී ඇත්නම් කොහොමද ජනාධිපතිවරයකුගේ කාර්ය භාරය තවත් අවුරුදු 2කින් පස්සේ ඉෂ්ට කරන්නේ. කීත් නොයාර් පැහැරගෙන ගිය පිරිස පිටුපස ඇති රිමෝට් එක තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟ බව එතුමාගේ ප්‍රකාශවලින් පැහැදිලි වී තිබෙනවා. එතුමා මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කරනවා කීත් නොයාර් නිදහස් කිරීම වරදක්ද කියලා.'


උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon