ආණ්ඩු බලය ගන්න හදන අය සිය ජාතික දැක්ම සැමට ඉදිරිපත් කළ යුතුයි

  👤  3624 readers have read this article !
By mawbima 2018-08-22

වත්මන් ආණ්ඩුව යටතේ සෑම ක්‍ෂේත්‍රයකින්ම රට අරාජික වී තිබෙන නිසා ආණ්ඩු බලය අපේක්ෂා කරන අය ඔවුන්ගේ ජාතික දැක්ම රටට ඉදිරිපත් කළ යුතුව ඇතැයි ජේ‍යෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක ප්‍රකාශ කළේය.

හෙතෙම එසේ කීවේ ජාතික සංවිධාන එකමුතුව ඊයේ (21දා) රාජගිරියේ පිහිටි එම කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
මොහාන් සමරනායක මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

ඕනෑම රටක ශක්තිමත් ආර්ථිකයක අඩිතාලම වන්නේ කෘෂිකර්මාන්තයයි. එහෙත් අවාසනාවකට වසර දෙදහසකට අධික කෘෂි ඉතිහාසයක් පවතින අපේ රටේ පාලකයන් රටේ විභවතා හඳුනා ගෙන ඊට අනුව ආර්ථිකය ගොඩනඟන්නේ නැහැ. ඒත් එම ප්‍රධාන ප්‍රශ්නය අමතක කරමින් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මානව හිමිකම් ආදී අවශේෂ කාරණා ගැන කතා කිරීම ආණ්ඩුවේ කාර්යය වී තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂයටත් රටේ සැබෑ ප්‍රශ්න ගැන අවබෝධයක් නැහැ. ඔවුන් බලය ලබා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන නිසා මේ රට ගොඩනඟන ඔවුන්ගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කොට ඊට ජනතා ආශීර්වාදය ලබා ගත යුතුයි. ජනතා විමුක්ති පෙරමුණටත් රටේ ප්‍රශ්නවලට විසඳුමක් නැහැ. කොළඹ සිටින පිරිසකට අමුඩ අන්දවලා විරෝධතා කිරීම පමණයි ඔවුන් කරන්නෙ.
හම්බන්තොට දුම්රිය මාර්ගයක් ඉදි කොට ඒක විදේශ සමාගමකට දීමට කටයුතු කර තිබෙනවා. බුදු දහමට අපහාස වන නාට්‍යය පෙන්වමින් සංහිඳියාව ගැන කතා කරනවා. මේ සියල්ල අහඹු දේවල් නෙවෙයි. එකම වැඩපිළිවෙළක විවිධ අවස්ථා වශයෙනුයි ඒවා සැලකිය හැකි වෙන්නේ.

පොදු අපේක්ෂකයකු බලයට පත් කර ආණ්ඩුව ලබාගත්තත් අද රට පාලනය කරන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඇතුළු කුඩා කල්ලියක් විසිනුයි. ලෝකයේ බලවත් රටවල වෙළෙඳපොළක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ඔහු කොන්දේසි විරහිතවම පිළිගෙන ඒ අනුව කටයුතු කරනවා. මේ ආර්ථික ගමන නතර කරන්න ජනාධිපතිවරයාට කන්නලව් කරලා වැඩක් නැහැ. ජනතාව නැඟී සිටිය යුතුයි.

ගම්පෙරළිය කියන වැඩසටහන තුළ තිබෙන්නෙත් නව ලිබරල්වාදී වුවමනාවක් ඉටු කිරීමයි. අපේ රටේ වැව් පද්ධතියත් හිතවතුන්ට භාරදීමේ වැඩපිළිවෙළක් ඒ යටතේ ක්‍රියාවට නැංවී තිබෙනවා.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

වත්මන් ආණ්ඩුව යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය කෘෂිකර්මාන්තය අකර්මණ්‍ය කරනවා. කුඹුරු ගොවිතැනෙන් ගොවීන් ඉවත් කරනවා. රුපියල් 40ට මිලට ගත් වී මෙටි්‍රක් ටොන් ලක්ෂයක් රුපියල් 24ට සත්ත්ව ආහාරවලට විකුණුවා. මේ මඟින් මිලියන දහස් ගණනක අලාභයක් සිදු කළා.

පාන් පිටි අලෙවිය නංවන්න කිලෝවකට රුපියල් 20ක බදු සහනයක් දුන්නා. මේ නිසා පාන් පිටි පරිභෝජනය වසරකට මෙටි්‍රක් ටොන් 13,000 සිට 17,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙමඟින් වසරකට රුපියල් මිලියන 34,000ක පමණ අති විශාල පාඩුවක් සිදු වෙනවා.

පසුගිය ආණ්ඩුව ආනයනික කිරිපිටි කිලෝවකට රුපියල් 225ක බද්දක් පැනෙව්වා. ඒක මේ ආණ්ඩුව රුපියල් 2ට අඩු කළා. මේ නිසා ජාතික ආර්ථිකයට රුපියල් මිලියන 18,000ක පාඩුවක් වසරකට සිදුවෙනවා.

මේ රටට මේදය සහිත කිරිපිටි පමණයි ආනයනය කරන්න පුළුවන්කම තිබෙන්නේ. ෆාම් තෙල් දමා ඒවා ආනයනය කරනවා. කිරිපිටි සමාගම් ඒ පිළිබඳ වාර්තා දෙන්නේ නැහැ. ආහාර පනත භාරව සිටින්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින්. හිටපු අධ්‍යක්ෂවරයා රුපියල් ලක්ෂ 20ක වැටුපකට කිරි පිටි සමාගමේ උපදේශකයෙක් ලෙස පත් කර තිබෙනවා. අපේ රට යන තැන මේ කරුණුවලින් පැහැදිලි වෙනවා. මෙහෙම රටක් ලෝකයේ තවත් නැහැ.

දේශීය පලතුරු වගාව නංවන බව ජනාධිපතිවරයාත් කියනවා. ආනයන අඩුකරන බව කෘෂිකර්ම ඇමැති කියනවා. ඒත් සිංගප්පූරු ගිවිසුම යටතේ පලතුරු ආනයන බදු බින්දුව දක්වා පහත දමා තිබෙනවා. මේ විධියට කොහොමද රටක් ඉදිරියට යන්නෙ.

ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩු ගෙන ආ ආසියාවේ විශාලතම කර්මාන්තශාලාවක් තමයි අපේ රටේ යූරියා කර්මාන්ත ශාලාව. ඒක කර්මාන්ත ඇමැති වූ රනිල් වික්‍රමසිංහ වසා දැම්මා. පසුව ඒක වධකාගාරයක් බවට පත් කළා. එහෙම කළ ඔහු දැන් කියනවා 1992දී වියට්නාමය තමන්ගෙන් ආයෝජන උපදේශ ලබා ගත්තා කියලා. එහෙම ලබා ගන්න වියට්නාමයේ අයට මොළයේ අමාරුවක් තිබුණු බවට සඳහනක් නැහැ.

රටේ කාන්තාවන් පිටරට යවලා ගන්න ඩොලර්වලින් පාන් පිටි කන්න පුරුදු කරපු රටක් බවට මේක පත් වෙලා. රටේ තිබෙන්නේ පාන් පිටි කන ආර්ථිකයක් පමණයි.
ජාතික ගොවිජන එකමුතුවේ කැඳවුම්කරු අනුරාධ තෙන්නකෝන්
අම්පාර ප්‍රදේශයේ ඇමැතිවරයකුගේ පුතෙක් වියට්නාමයෙන් ගම්මිරිස් ගෙන්වා ප්‍රති අපනයනය කරනවා. මේ නිසා 2015 ගම්මිරිස් කිලෝවක එදා තිබූ රුපියල් 1,500-1,700ක මිල අද වන විට රුපියල් 500 දක්වා අඩු වෙලා. ගම්මිරිස් කර්මාන්තය විනාශ වෙලා.

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon