රෝගී දියණියන් ජීවත් කරවන්නට නොවිඳිනා දුක් විඳින මවුපිය යුවළක්

  👤  3613 readers have read this article !
By mawbima 2018-08-22

දඹුල්ල - කේ.කේ. ආරියදාස

හඳුනා නොගත් රෝග තුනක් වැලඳුණු දූවරු තිදෙනකු ජීවත් කරවන්නට මවක් සහ පියෙක් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටිති.

මේ අසරණ මවුපිය යුවළ පදිංචිව සිටින්නේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුබ්බෝගම කිරලව ගම්මානයේය. මේ මවුපිය යුවළ වසර ගණනාවක සිට තම දූදරුවන් තිදෙනා වෙනුවෙන් සිය සේසතම වියදම් කොට මේ වන විට වේලක් ඇර වේලක් ආහාර ගැනීමට හෝ නොමැතිව විළි වසා ගැනීමට ඇඳිවත පවා නොමැති තරමට පීඩනයට පත්ව සිටිති.

කේ.එච්.ජී. ප්‍රසන්න මද්දුම කුමාර (37) මහතා වයි.එම්. අනුෂා කුමාරි (31) මහත්මියත් මෙසේ දරුවන් තිදෙනා නිසා ආර්ථික, මානසික දුෂ්කරතාවකට මුහුණ පා සිටිති.
මෙම ආදරණීය දෙපළගේ පළමු දරුවා වූ ඉමාෂි සෙව්වන්දි 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ සාමාර්ථයක් ලබමින් ශිෂ්‍යත්ව විභාගයද සමත් වූ දැරියකි. තවමත් 13 වැනි වියේ පසුවන ඇය හඳුනා නොගත් ඇටමිදුලු රෝගයකින් සහ නිතර නිතර විවිධ රෝගාබාධවලට ලක් වෙයි. ඇය වසර කිහිපයක සිටම මහරගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාරද ලබයි.

තවමත් ඇයට වැලඳී ඇති රෝගය නිශ්චිතවම හඳුනාගෙන නොමැති බව මවුපියෝ පවසති. ඇයට පිටස්තර ස්ථානයකට ගමන් කිරීම, පිටස්තර ආහාරපාන ලබාදීම නතර කරන ලෙස වෛද්‍ය උපදෙස් ලබාදී ඇතැයි ප්‍රසන්න මහතා පවසයි. ඒ දියණියගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය නොමැතිවීම හේතුවෙනි. ඇයට අවශ්‍ය ආහාරපාන ගෙනැවිත් දීමට තරම් පියාට හැකියාවක් නැතැයි හෙතෙම කියයි.

මෙම යුවළගේ දෙවැනි දියණිය ඉෂාරා සෙව්වන්දි තවමත් 8 හැවිරිදි වියේ පසුවන්නීය. අධ්‍යාපනයට දක්ෂ වූ ඇය වසර කිහිපයක සිට ඇස් පෙනීමේ දුර්වලතාවකින් පෙළෙන්නීය. මේ වනවිට ඇය පාඩම් කරනු ලබන්නේ ඇයගේ දෑස් ආසන්නයටම පොත් ලබා ගැනීමෙන් පසුවය. විවිධ ප්‍රදේශවලට ගොස් වෛද්‍යවරුන් හමුවී ප්‍රතිකාර ලබා ගත්තද මෙතෙක් ඇයගේ ඇස්වල රෝගය හඳුනා ගෙන නැතැයි මවුපියෝ පවසති. එහෙත් වෛද්‍යවරුන් කිහිපදෙනකු සඳහන් කොට ඇත්තේ නුදුරේම දැනට පෙනෙන්නට ඇති ප්‍රමාණයද අවම වීමේ ප්‍රතිශතයක පවතින බවය.

මෙම යුවළගේ බාල දියණිය වන්නේ ඉසුරිකා සෙව්වන්දිය. ඇය තවමත් පෙර පාසල් වියේ පසුවන්නීය. ඇයට ඇති රෝගය එක වරම ක්ලාන්තය සෑදී ශරීරය වෙව්ලීමය. ඇයට තවමත් ප්‍රතිකාර කිරීමට තරම් ශක්තියක් මේ යුවළට නොමැතිය. පෙර දරුවන් තිදෙනාගේ කටයුතු සඳහා මහනුවර මහ රෝහලටත් පේරාදෙණිය මහ රෝහලටත් මහරගම රෝහලටත් සතිපතා ගමන් කිරීම හේතුවෙනි.

ප්‍රසන්න මද්දුම බණ්ඩාර ටිපර් රථ රියැදුරෙකි. දරුවන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා පිටත්ව ගොස් නැවත රැකියාවට යද්දී එම රැකියා ස්ථානය ඔහුට අහිමි වී හමාරය.

ඒ නිසා ප්‍රසන්න තමන්ට හැකි පරිදි කුඩා ගල් කැබලි සොයාගෙන ලබා ගන්නා මුදලින් සිමෙන්ති කොට්ටයක් දෙකක් ගෙන ඉතා කුඩාවට තමන්ගේම අතින් විවිධ ගඩොල් කෑලි තබා කාමර 2ක් ඉදිකොට ගෙන තිබේ. එයද ශක්තිමත් නොමැති කුඩා නිවහනකි. අසනීප දරුවන්ට අවම තරමේ වැසිකිළියක් හෝ නොමැත. නිවෙසේ විදුලි බලයද නැත. අවට නිරාවරණය වූ කුඩා කුස්සියේ පුංචි වළං මුට්ටි කීපයක් තිබුණද ඒවා එතරම් පොහොසත් බවක් දකින්නට නොමැතිය. දරුවන් කුසගින්නේ හඬා වැටෙද්දී මවුපියන්ද දරුවන් වෙනුවෙන් විශාල කැප කිරීමක් කර හමාරය. අඩුම තරමේ මේ අසරණ පවුලට සමෘද්ධිය සහනාධාරයවත් නොමැත. ප්‍රසන්න මද්දුම කුමාර මහතා සමඟ අප කියා සිටියේ මේ වන විට දරුවන්ට රුපියල් ලක්ෂ 12කට අධික මුදල් ප්‍රමාණයක් වියදම් කළද මෙතෙක් රෝගී තත්ත්වයන් හඳුනා ගැනීමට නොහැකිවී ඇති බවය.

එමෙන්ම අනුෂා කුමාරි මහත්මිය කියා සිටියේ තම වැඩිමහල් දියණිය මහරගම මහ රෝහලේ මාස 6ක පමණ කාලයක් නැවතී ප්‍රතිකාර ගනිද්දී ටෙලි නාට්‍ය නිළියක් වූ ගයාත්‍රි ඩයස් මහත්මිය ආහාරපාන ලබාදී විශාල උපකාරයක් කළ බවය. ඇය නොසිටින්නට තම වැඩිමහල් දියණිය මේ වන විටත් තමන් හැර ගොස් ඇති බව ඇය හැඬු­ කඳුළින් පැවසුවාය.

මෙම දියණියන් තිදෙනාට උපකාරයක් කරන්නේ නම් ඔවුන්ගේ ලිපිනය වන්නේ කේ.එම්.ජී. ප්‍රසන්න මද්දුම කුමාර, කිරලව, පුබ්බේගම යන ලිපිනයයි.
දඹුල්ල කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංකය - 8540031399
ඔවුන් සම්බන්ධ කර ගැනීමට හැකි දුරකථන අංක 072-9701904 සහ 078-9051513

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon