සියලු දේ දෙපාවලින් ඉටුකර ගන්නා පවනිටත් පිහිටක් වෙමු

  👤  3619 readers have read this article !
By mawbima 2018-08-22

මනම්පිටිය - නිමල් ජයරත්න

මවගේ ඉහුම් පිහුම් වැඩවලටද උදවු කරමින් තම සියලු වැඩකටයුතු දෙපාවලින් පමණක් ඉටුකර ගන්නා දෑත් ආබාධිත වයස අවුරුදු 13ක දැරියක් පිළිබඳ පුවතක් පොළොන්නරුව බැඳිවැව කඩවලවැව ගම්මානයෙන් අසන්නට ලැබේ.

මවගේ ආධාරයෙන් පමණක් ඇවිදින දස්කම් කිහිපයකින් හෙබි මේ දැරිය නමින් එම්.ජී. පවනි කවින්ද්‍යාය.

පාසල පිටුපස කඩවලවැව ජයන්තිපුර ලිපිනයේ පදිංචි පවනිගේ පියා ආරක්ෂක අංශයේ රැකියාවක් කරයි. මව අසංකා ජානකි බුලත්විට කඩයක් පවත්වාගෙන යමින් ජීවිතය ගැට ගසා ගන්නීය. තිදරු මවක වන ඇය 43 වියේ පසුවන අතරසැහැල්ලු වාහන රියැදුරු බලපත්‍රයක් ගෙන ඇත්තේ කිනම් හෝ දිනක වාහනයක් ලැබුණොත් දියණියට ප්‍රතිකාර කිරීමට යෑම - ඒම සඳහාය.

මෙම දැරිය දැනට පොළොන්නරුව මහ රෝහලටත් ජයන්තිපුර ප්‍රදේශයේ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයටත් රැගෙන යන්නේ අබලන් වූ ත්‍රිරෝද රථයකිනි.

2005 ඔක්තෝබර් 01 වැනිදා ලෝක ළමා දිනයදා මෙලොව එළිය දුටු පවනි කවින්ද්‍යා වසර තුනක් යනතෙක් බැඳිවැව මහා විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ අධ්‍යාපනය ලැබුවාය.

"මේ දුව ඉපදිලා දින කිහිපයකින් "ෆිට්" එක හැදුණා. මාස 5ක් වෙද්දි අත දිග අරින්න බැරිවුණා. ඇවිදින වයසේදී ඇවිද ගන්නත් බැරි වුණා. දැන් තමා එයා ටික ටික කතා කරන්නේ. එයා මාසයකට දෙවරක් විතර පොළොන්නරුව රෝහලට එක්ක යනවා. දුව සියලු වැඩ කර ගන්නේ කකුල් දෙකෙන්. කොණ්ඩය පීර ගන්නවා. කෑම කනවා. වතුර බොන්නේ රෙදි නමා ගන්නේ, දත් මැද ගන්නේ, අපිට වඳින්නෙත් කුකුල් දෙකෙන්.

එයා අකුරු ලියන්නේ, චිත්‍ර අඳින්නේ, තාත්තට කෝල් ගන්නේ, ඒ හැම වැඩක්ම කරගන්නේ කකුල් දෙකෙන්. අත් දෙක නමන්න බැහැ. හරියට තනියම ඇවිද ගන්න බැහැ. මගේ ගෙදර වැඩවලටත් උදවු කරනවා. පුවක් කපලා දෙනවා.

මහත්තයා ආරක්ෂක අංශයේ රැකියාවක් කරනවා. ඉතින් දුවගේ අවශ්‍යතාවලට මාසයකට රුපියල් 5,000ක් විතර වියදම් වෙනවා. ඒක හොයා ගන්නේ බුලත්විට විකුණලා. තව පුතාලා දෙන්නෙක් ඉන්නවා පාසල් යන. දැනට මෙයා දාගෙන යන ත්‍රීවීල් එක හොඳටම අබලන්. ඉතින් මට කවුරුන් හෝ මේ දුවගේ වැඩකටයුතුවලට උදවු කරන්න" යැයි දෑසින් ගලා හැලෙන කඳුළු පිසලමින් මව අසංකා ජානකි පැවැසුවාය. ඔවුන්ගේ බැංකු ගිණුම් අංකය පී.එම්.ඒ. ජානකි මහජන බැංකුව 75590595, දුරකථනය 0778457821.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon