මගුරුගොඩ වත්තේ ජීවත් වූ වියපත් යුවළක් නිවෙසින් එළියට දාලා

  👤  3657 readers have read this article !
By mawbima 2018-08-22

කුරුවිට - කේ.එස්.එස්. පියතිලක

රත්නපුර මගුරුගොඩ වත්තේ වසර 10ක් තිස්සේ තේ දලු නෙළීම, වල් නෙළීම ආදී වැඩ කරමින් එම වත්තේ කුඩා නිවෙසක ජීවත් වූ ආරුමුගම් මේරි හා මුනියන්ඩි පෙරුමාල් යන වියපත් යුවළ එම නිවෙසින් එළියට දැමීම නිසා ඔවුන් දෙදෙනා මේ වනවිට යන එන මං නැතිව මාස ගණනාවක් තිස්සේ රත්නපුර මධ්‍යම බස් නැවතුමේ බංකුවක් නවාතැන කරගෙන අසරණ තත්ත්වයෙන් ජීවත් වෙති.

තමන් පත්ව සිටින අසරණභාවය ගැන ඔවුන් දෙදෙනා මෙසේ පැවැසූහ.
"මහත්තයෝ අපි දෙන්නා රත්නපුර මගුරුගොඩ වත්තේ වැඩ කරමින් තමයි වසර 10ක පමණ සිට ජීවත් වුණේ. අපිට හිටපු එකම පුතා රට යනවා කියලා ගිහින් දැන් අවුරුදු දෙකක් පමණ වෙනවා. ඔහු ගැන කිසිදු තොරතුරක් මේ දක්වා ලැබුණේ නෑ. මේ ගැන ගොඩක් අයට කිව්වත් තාම කිසිම තොරතුරක් ලැබුණේ නෑ.

පුතා ගැන හිතලම අපි දෙන්න නිතර ලෙඩ වුණා. ඒ අතර දැනට මාස 5කට පමණ පෙර වත්තේ මහත්තයා අපි දෙන්නා හිටපු කුඩා නිවෙසින් එළියට දාලා ඒ නිවෙසට ඉබ්බෝ දැම්මා. අපිට යන එන මං නැතිව රත්නපුර බස් නැවතුම්පොළට ඇවිත් හරියට කෑමක් බීමක් නැතිව බංකුවක් උඩ ඉන්නේ. එහෙම ඉන්නකොට මේකේ පාලක කවීශ්වර මහත්තයා ඇවිත් අපෙන් ප්‍රශ්න අහල අපේ දුක තේරුම් අරන් මේ දක්වා අපිට තුන් වේලටම කන්න දී අපව බලා ගත්තා. ඒත් අපිට හැමදාම මෙතැන ඉන්න බෑ. අපිට යන්න මහලු නිවාසයක් හරි හොයා දෙන ලෙස පින්වත් අයගෙන් ඉල්ලා සිටිනවා."

මේ පිළිබඳ රත්නපුර මධ්‍යම බස් නැවතුම්පොළේ පර්යන්ත පාලක තිස්ස කවීශ්වර මහතා මෙසේ පැවැසීය.

"මේ මහලු ජෝඩුව දැන් මෙතැනට ඇවිත් මාස ගණනාවක්. ඔවුන්ට මම තුන් වේලටම කන්න අරන් දෙනවා. මම එපා කියද්දීත් ඔවුන් මට නිතරම වැඳ වැඳ පින් දෙනවා. මම ඒකට අකැමැති බව කිව්වත් ඒ දෙන්නා ඒක නවත්වන්නේත් නෑ.

මා මේ දෙන්න යවන්න මහලු නිවාස කිහිපයකින් ඇහුවත් ඒ අය එම නිවාසවල ඉඩ මදි නිසා නවත්ව ගන්න බෑ කියනවා. ඒ නිසා මා ඉල්ලා සිටින්නේ මොවුන්ට පිහිටක් විය හැකි අයෙක් හෝ ආයතනයක් ඇත්නම් මොවුන්ට පිහිටක් වන ලෙසයි."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon