හජ් උත්සවයට සුබ පැතුම් සහජීවනය ලෝක ප්‍රජාවට සන්නිවේදනය කරන ආගමික උළෙලක් - ජනපති කියයි

  👤  3677 readers have read this article !
By mawbima 2018-08-22

ලොව ලක්ෂ සංඛ්‍යාත ඉස්ලාම් බැතිමතුන් එකම අරමුණකින් බැඳී එකම පූජා භූමියකට රැස්ව මනුෂ්‍යත්වයේ අපේක්ෂාව වන සාමූහිකත්වයේ අගය උත්කර්ෂයට නංවන හජ් උත්සවය සමාජීය සහජීවනයේ මහිමය ලෝක ප්‍රජාවට සන්නිවේදනය කරන ප්‍රමුඛතම ආගමික උළෙලක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

අද දින සමරන හජ් උත්සවයට සුබාශිංසන එක් කරමින් ජනාධිපතිවරයා නිවේදනයකින් සඳහන් කරන්නේ විවිධ බෙදීම්වලින් එකම මිනිස් වග අවුලෙන් අවුලට පත් ලොවක අනේ‍යාන්‍ය වශයෙන් මිනිසුන් පැවැත්විය යුතු බැඳීමේ මහිමය පිළිබඳ හජ් උත්සවය පුළුල් ආදර්ශයක් සපයන බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

මානව ඉතිහාසයේ පවා මිනිසුන් සාමුහිකව ඒකරාශී වූයේ ආගමික පූජාකර්ම උදෙසාය. ස්වකීය ආගම හා බැඳුණු වත්පිළිවෙත් සුරැකීම මෙන්ම ඔවුනොවුන් අතර සහ සම්බන්ධයද එදා මෙදා පූජෝත්සව මඟින් වර්ධනය විණි. හජ් වන්දනාව වනාහි දේවත්වය හා මනුෂ්‍යත්වය අතර පවත්නා දිව්‍යමය වූ බන්ධනය විචිත්‍රාකාරයෙන් දනවන්නකි. ජාතිකත්වයේ හෝ පුද්ගල තරාතිරම් නොතකා ලොව නන් දෙසින් පැමිණෙන සියලු බැතිමතුන් එකම නොබෙදුණු මිනිස් ප්‍රජාවක් ලෙස මුසු වී දෙවියන් නමදින මහා ආගමික පූජෝත්සවයක් ලෙස හැඳින්විය හැකිය.

ශුද්ධ වූ මක්කම භූමිය කේන්ද්‍ර කොට ගනිමින් මනුෂ්‍යයන් අතර සාදර සමානාත්මතාවේ පණිවුඩය රැගෙන හජ් වතාවන්හි නියැළෙන මෙරට සියලු ඉස්ලාම් බැතිමතුන්ටත්, ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවටත් උතුම් ඊදුල් - අල්හා උළෙලක් වේවායි හෘදයාංගම සුබාශිංසන පිරිනමමි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon