2018 කියෝ ඔලිම්පියාඩ් තරුණ නව නිපැයුම්කරුවන්ගේ තරගයෙන් බුද්ධි නදීෂට රන් පදක්කමක්

  👤  3562 readers have read this article !
By mawbima 2018-08-22

ගම්පොළ - මාධව බණ්ඩාර

දකුණු කොරියාවේ සෝල් නුවර පැවැති 2018 කියෝ ඔලිම්පියාඩ් තරුණ නව නිපැයුම්කරුවන්ගේ තරගයේදී රටවල් 32ක් අතුරින් ශ්‍රී ලංකාව නියෝජනය කළ ගම්පොළ, මාවතුර, රිවර්සයිඩ් ගම්මානයේ පදිංචි බුද්ධි නදීෂ බණ්ඩාර තෙන්නකෝන් සිසුවා රන් පදක්කම හිමිකරගෙන තිබේ


කොත්මලේ හරංගල ද්විතීයික පාසලේ උසස් පෙළ ගණිත අංශය හදාරා විශ්වවිද්‍යාලය සඳහා ඇතුළු වීමට අපේක්‍ෂාවෙන් සිටින බුද්ධි නදීෂ මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් කොට ඇත්තේ පාසල් විද්‍යාගාරයට අවශ්‍යයෙන්ම තිබිය යුතු ඉලෙක්ට්‍රොනික ප්‍රේරණ දඟරය හා වර්ණාවලි යන්ත්‍රයකි.

භෞතික විද්‍යා විෂය හදාරන සිසුන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් මෙම යන්ත්‍රය තුළින් එකවර පරීක්‍ෂණ 10ක් සිදුකිරීමට හැකිවීම මෙහි විශේෂත්වයකි.

දැනට පාසල් විද්‍යාගාර තුළ ඇති මෙවැනි යන්ත්‍ර තුළින් සිදුකළ හැක්කේ එක්
පරීක්‍ෂණයක් පමණක් වන අතර විදුලි සැපයුම සමඟ සිදුකරන එම පරීක්‍ෂණ තුළදී සිසුන්ට යම් අනාරක්‍ෂිත බවක්ද පවතින නමුත් නදීෂගේ මෙම නව නිපැයුම මඟින් එම අවදානමද ඉවත් තිබේ.

මෙම යන්ත්‍රය ප්‍රධාන වශයෙන් ප්‍රේරණ කොටස, වර්ණාවලි කොටස, ආලෝක කොටස ලෙස කොටස් තුනකින් සමන්විත වන අතර එමඟින් එසේ එකවර පරීක්‍ෂණ දහයක් සිදුකළ හැකි බව නදීෂ පවසයි.

මේ ලෙස එක උපකරණයකින් පරීක්‍ෂණ ගණනාවක් ආවරණය කළ හැකි වීම හා
නිෂ්පාදන අඩු පිරිවැය මෙම පාසල් විද්‍යාගාරයට මෙය ඉතා යෝග්‍ය බව තහවුරු වීම මත නදීෂට මෙම රන් පදක්කම හිමිව ඇති අතර ඔහුද එය මෙරට පාසල් අතර භාවිතයට ගන්නේ නම් උපරිම සහාය පළ කිරීමට සූදානමින් සිටින බව පවසයි.

නදීෂ තාමත් විශ්වවිද්‍යාල සිසුවෙක් නොවුණද ඔහුට මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වීමට සිදුව තිබුණේ විශ්වවිද්‍යාල නියෝජනය කරන අංශය යටතේය. එවැනි ඉහළ තරග අවස්ථාවක් වුවත් නදීෂ මෙම රන් පදක්කම ලැබීම ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් හිමිකර දීමට සමත්ව තිබේ.

උසස් ජයග්‍රහණයක් ලබා ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන්නද ඔහු පසුගිය දින ලංකාවට පැමිණෙද්දී කිසිම වගකිව යුත්තෙක් ඔහුව පිළිගැනීමට කටයුතු යොදා නොතිබුණද දුෂ්කර ප්‍රදේශයක ජීවත් වන ඔහුගේ ගම්මානයේ සියලුදෙනා එකතු වී මෙම තරුණ නව නිපැයුම්කරුවාව පිළිගත්තේ මහත් හරසරිනි.
ගමේ විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේ ඇතුළු ගම්වාසීන් විසින් රිය පෙරහරකින් ඔහු කැඳවාගෙන ගොස් විහාරස්ථාන ධර්ම ශාලාවේ උත්සවයක් පවත්වා මෙම තරුණ විද්‍යාඥයාට උපහාර පුදනු ලැබීම වගකිව යුත්තන්ට පාඩමක්ද විය.

නව නිපැයුම් කිහිපයක්ම සිදුකර ඇති නදීෂගේ අනාගත බලාපොරොත්තු වී ඇත්තේ ලෝකයේ බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස අකුණක ශක්තිය ගබඩා කර එය ප්‍රයෝජනයට ගැනීමය.

ඒ සඳහා සැලසුම් කළද දැරීමට සිදුවන අධික පිරිවැය පියවා ගැනීමට නොහැකි ඔහු තම පරීක්‍ෂණ අතරමඟ නවතා දමා තිබේ.
මෙය වගකිව යුතු පිරිසට හා රජයට මෙන්ම ආයතන සඳහාද මෙම තරුණයන් දිරිමත් කිරීමට හොඳ අවස්ථාවක් වී තිබේ.

කෙසේ වෙතත් රන් පදක්කම්ලාභී මෙම නව නිපැයුම්කරුවා ඉදිරියේදී ජනාධිපතිතුමා හා අගමැතිතුමා හමුවීමට අවස්ථාවක් ලබා දෙන්නේ නම් තම ඉදිරි සැලසුම් පිළිබඳව දැනුවත් කිරීමට මෙම ඉලෙක්ට්‍රොනික් ප්‍රේරණ දඟරය හා වර්ණාවලි යන්ත්‍රය පාසල් පද්ධතියට දායාද කිරීම මෙම තම රන් පදක්කම එතුමන්ලාට පෙන්වීමටත් කැමැත්තෙන් සිටින බව පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon