යහපත් ලෝකයක් නිර්මාණය කරලීම සඳහා මඟ පෙන්වූ නායකයෙක්

  👤  3535 readers have read this article !
By mawbima 2018-08-22

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි සම්මතයන්ට, හරයන්ට සහ මූලධර්මයන්ට අනුකූලව වසර පහක අනුයාත ධුර කාල දෙකක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට නායකත්වය ලබාදුන් කොෆි අනන් මහතා එකී සංවිධානයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් වූ පසුවද සාමය, මානව අයිතිවාසිකම්, මානව ගරුත්වය සහ මානුෂිකත්වයේ හෘද සාක්ෂිය වෙනුවෙන් ප්‍රබල ලෙස හඬක් නැඟූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් කොෆි අනන් මහතාගේ අභාවය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටෙරෙෂ්
මහතා වෙත විශේෂ ශෝක පණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

කොෆි අනන් මහතාගේ අභාවය පිළිබඳ සිය දැඩි කනගාටුව ප්‍රකාශ කරන ජනාධිපතිවරයා ඒ මහතාගේ දිරිගැන්වීමේ කුසලතාව, ප්‍රඥාව හා සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමේ හැකියාව සහ මෘදු කතා විලාසය අහිමිවීම ලෝක ජනතාවට පිරිමැසිය නොහැකි පාඩුවක් බවද පෙන්වා දෙයි.

වඩා යහපත් ලෝකයක් නිර්මාණය කරලීම සඳහා මඟ පෙන්වූ නායකයකු ලෙස ලොව පුරා ජනතාව ඉතා ගෞරවාන්විත ලෙස කොෆි අනන් මහතා සිහිපත් කරනු ඇති බව සිය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා රජයත්, සමස්ත ශ්‍රී ලාංකික ජනතාව තුළත් ඒ මහතා කෙරෙහි පවතින කෘතවේදීත්වය පළ කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බවද සඳහන් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon