වැලිකඩ කාන්තා රැඳවියන්ට එල්ල කළ පහරදීම ගැන වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්න - හිටපු පා.ම. ගීතා කුමාරසිංහ

  👤  3634 readers have read this article !
By mawbima 2018-08-22

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ට එල්ල කරන ලද අමානුෂික පහරදීම සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් අධිකරණ හා බන්ධනාගාර ඇමැතිනිය වශයෙන් කාන්තාවක් කටයුතු කරද්දී සනීපාරක්ෂක පහසුකම් ඉල්ලා උපවාස කළ කාන්තා රැඳවියන්ට සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් ඒකාබද්ධ විපක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මිය "මව්බිම"ට ප්‍රකාශ කළාය.

මීට දින කිහිපයකට පෙර සනීපාරක්ෂක පහසුකම් ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ වහලක් මතට නැඟ උපවාස කරන ලද කාන්තා රැඳවියන් පිරිසකට උපවාසයෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් පහරදී ඇති බවත් ඊට විරෝධතා පළ කරමින් 20 වැනිදාද කාන්තා රැඳවියන් පිරිසක් යළි බන්ධනාගාරයේ වහල උඩට නැඟ උපවාසයක් සිදුකර ඇති බවත් ගීතා කුමාරසිංහ මහත්මිය පෙන්වා දෙයි.

නීතියෙන් තවමත් වැරැදිකරුවන් නොවී සිටින සැකකාරියන්ඔවුන්ගේ සනීපාරක්ෂක පහසුකම් ඉල්ලා උපවාස සිදුකළ විට මෙම පහරදීම සිදුවී තිබෙන බව කුමාරසිංහ මහත්මිය පැවැසුවාය.

කුඩා දරුවන් සමඟ ඇතැම් මවුවරුන් මෙසේ සනීපාරක්ෂක පහසුකම් ලබාදෙන ලෙසට මූලික අයිතිවාසිකමක් වෙනුවෙන් උපවාස කරන විට එම පහසුකම් ලබානොදී මෙසේ අමානුෂික ලෙස පහරදී තුවාල සිදුකිරීමෙන් කාන්තා රැඳවියන්ගේ මෙන්ම එම කාන්තාවන් සමඟ සිටින දරුවන්ගේද මානව අයිතීන්
උල්ලංඝනය කර තිබෙන බවත් කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කරයි.

පසුගිය ආණ්ඩුව සමයේදී බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් මහත් හඬ නැඟූ ඇතැම් පිරිස් මෙම පහරදීම සම්බන්ධයෙන් මුනිවත රකින්නේ මෙය යහපාලන ආණ්ඩුව යටතේ සිදුවූ පහරදීමක් නිසාද කියා තමන් ප්‍රශ්න කරන බවද ඇය ප්‍රකාශ කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon