මගී ප්‍රවාහන ත්‍රිරෝද රියකින් රු. 2000ක් ගෙවා අවසර පත්‍රයක් ගැනීමේ නීතිය හෙළා දකිනවා

  👤  3474 readers have read this article !
By mawbima 2018-08-22

උදයන්ති මුණසිංහ

මගී ප්‍රවාහන සේවයේ යෙදෙන ත්‍රිරෝද රථ වෘත්තිකයන් විසින් රුපියල් දෙදහසක් (2000) ගෙවා, මගී ප්‍රවාහන අවසර බලපත්‍රයක් ලබාගන්නා ලෙසට, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් ගෙන ඇති නීතිය තරයේ හෙළා දකින බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් වන අයදුම්පත්‍රය දැනටමත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් නිකුත් කර ඇති බවත්, දැනට බස්නාහිර පළාතට පමණක් ගෙන ඇති මේ නීතිය ඉදිරියේදී රටේ සියලුම පළාත්වල ක්‍රියාත්මක කිරීමට යන බවත් ඔහු සඳහන් කළේය.

බස්නාහිර පළාත තුළ පමණක් ත්‍රිරෝද රථ වෘත්තිකයන් ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් සිටින බැවින්, ඒ සියලු වෘත්තිකයන්ගෙන් රුපියල් දෙදහස බැගින් ඉතා විශාල මුදලක් කොල්ලකෑමට මෙලෙස කටයුතු කරන බවට ඔහු චෝදනා කළේය.

විශේෂයෙන් බස්නාහිර පළාත තුළ නාගරික ප්‍රදේශවල ත්‍රිරෝද රථ වෘත්තියේ යෙදෙන්නන්ට රථ ගාලක් හෝ නොමැති බවත් ඔවුන්ට රථ ගාල් ලබාදී, ඔවුන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය නොකර මෙලෙස මුදල් අයකර ගැනීමට ආණ්ඩුව කටයුතු කිරීම බලවත් වරදක් බවද ඔහු පැවැසුවේය.

මෙම අවසර බලපත්‍රය ලබා නොගතහොත් ඉදිරියේදී මගී ප්‍රවාහනයේ යෙදීමට ඉඩ ලබා නොදෙන බවට එම අධිකාරිය සඳහන් කරන බවද සුනිල් ජයවර්ධන මහතා පැවැසුවේය.

සියලුම ත්‍රිරෝද රථ වෘත්තිකයන් මේ තීරණයට දැඩි ලෙස විරුද්ධ බැවින් වහාම මේ තීරණය හකුළා ගැනීමට කටයුතු කරන ලෙසද බස්නාහිර පළාත් ප්‍රවාහන අමාත්‍ය ලලිත් වනිගරත්න මහතාගෙන් ඔහු ඉල්ලා සිටී.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon