විශාලතම මෙගලිතික සොහොන් සංකීර්ණය ජලයෙන් යටවෙයි

  👤  3795 readers have read this article !
By mawbima 2018-08-22

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

ආදි මානවයන්ගේ යුගය ලෙස සැලකෙන ක්‍රිස්තු පූර්ව 5,000ට එපිට යුගයේ සොහොන් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් හඳුනාගෙන ඇති මෙරටින් හමුවූ විශාලතම මෙගලිතික සොහොන් සංකීර්ණය යාං ඔය ජලාශයේ ජලයෙන් යටවන කොටසේ පිහිටා ඇති හෙයින් වැඩ අවසන් වෙමින් පවතින යාං ඔය ජලාශය ජලයෙන් පිරවීමත් සමඟ එම සොහොන් සංකීර්ණයද නොබෝ දිනකින් ජලයෙන් යටවීමට නියමිතය.

ගෝමරන්කඩවල පඹුරුගස් වැව හා පැටියාව යන ප්‍රදේශයන්හි පිහිටි මෙම සොහොන් සංකීර්ණය තුළ මේ වනවිට මතුපිටින් හඳුනාගත් සොහොන් ගැබ් 89ක් පවතින බවත් එලෙස හමුවූ සියලු සොහොන් ගැබ් අංක කර ඇතැම් ඒවායේ කැණීම් කළ බවත් ඉන් සොහොන් ගැබ් දෙකක කැණීම් අවසන් කිරීමෙන් පසුව ඒ තුළ තිබී පැරණි මානවයන්ගේ අස්ථි කොටස්, ආයුධ කැබලි හා පබළු කැබලි හමුවූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කැණීම් කටයුතු අවසන් කිරීමෙන් පසුව මෙම සොහොන් සංකීර්ණයෙන් සොහොන් ගැබ් හතරක් ගලවා ඉවත් කර යාං ඔය ජලාශය අසල එම ව්‍යාපෘතිය මඟින්දෙපාර්තමේන්තුවට ඉදිකර දීමට නියමිත පුරාවිද්‍යා කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මේ ප්‍රදේශයේ ආදි මානවයන්ගේ ශිෂ්ටාචාරයක් තිබූ බවට සාධක යාං ඔය ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ මෙම මෙගලිතික සොහොන්වලින් පෙනී යන අතර ඉබ්බන්කටුව ප්‍රදේශයේ හමුවූ මෙගලිතික සොහොන් ගැබ් කැණීම් කර මතුකර ගනු ලැබූ නමුත් යාං ඔය සොහොන් සංකීර්ණය පොළොව ඛාදනය වීම නිසා පොළොවෙන් මතුව පිහිටා තිබෙන අයුරු දැකගත හැකිවේ.

මෙම සොහොන් සංකීර්ණය කැණීම් කරනු ලැබූ පුරාවිද්‍යා දෙපර්තමේන්තුවේ කැණීම් නිලධාරියකු කියා සිටියේ හමුවූ ඇතැම් සොහොන් ගැබ් හේන් ගොවීන් විසින් විනාශ කර ඇති බවත් මතුපිට සොහොන් ගැබ්වලට අමතරව තවත් අක්කර 4ත් 5ත් අතර භූමියක පොළොව අභ්‍යන්තරයේ සොහොන් ගැබ් රාශියක් පවතින බවට සිතිය හැකි බවයි.

කෙසේ වෙතත් සොයා ගනු ලැබූ මෙම සොහොන් අතර සාමාන්‍ය ජනයා මෙන්ම ප්‍රභූවරුන්ද මිහිදන් කර තිබූ බව පෙනී යන බව පවසන පඹුරුගස්වැව විදුහලේ ඉතිහාසය පිළිබඳව ආචාර්ය ගුණතිලක කරුණාසේන මහතා කියා සිටියේ කනගාටුදායක කරුණ නම් මෙම විශාලතම සුසාන සංකීර්ණය තවත් නොබෝ දිනකින් ජාතියට අහිමිව යන්නේ යාං ඔය ජලාශය ජලයෙන් පිරවීමත් සමඟ බවයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon