තිදරු පියකු උස්සා පොළොවේ ගසා සය දරු පියකුගේ ඔළුව පැළු ‘මාළු චූටි’ තවමත් නිදැල්ලේ

  👤  3479 readers have read this article !
By mawbima 2018-08-22

අනුරාධපුර-මහේෂ් විජේසූරිය

තිදරු පියකු උස්සා පොළොවේ ගසා තවත් සය දරු තරුණ පියකුට පොල්ලකින් හිසට පහර දී බරපතළ තුවාල සිදු කළ දාමරිකයකු වශයෙන් නම් දරා සිටින 'මාළු චූටි' නමැත්තා අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකාවේ හොඳම පොලිසිය වූ හොරොව්පොතාන පොලිසියේ නිලධාරීන් බියෙන් පෙළෙන බව පහරකෑමට ලක්වූවන්ගේ ඥාති පිරිසක් පැවැසූහ.

'මාළු චූටි' නමැති දාමරිකයාගේ ප්‍රහාරයට ලක්වීමෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ මැදවච්චිය පාර, ඉහළගම, හොරොව්පොතාන ලිපිනයේ පදිංචි 52 හැවිරිදි දිනපතා කුලී වැඩෙහි නිරතවෙමින් ජීවිකාව ගෙන යන තිදරු පියකු වන මොනරංගල ගෙදර සූරියරත්න බණ්ඩාර හා 39 හැවිරිදි නිහාල් කරුණාරත්න යන දෙදෙනාය.
මාළු චූටිගේ ප්‍රහාරයෙන් 52 හැවිරිදි තිදරු පියාගේ වම් පාදයේ දණහිස් පොල්කටුව කැඩී පාදයට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඔහු දින පහකට ආසන්න කාලයක් අනුරාධපුර
ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා මේ වනවිට නිවෙසේ එක්තැන්ව හිඳී.

පහරදීම සම්බන්ධයෙන් දාමරිකයාගෙන් විමසීම් කළ 39 හැවිරිදි සය දරු පියාටත් සැකකරු විසින් පොල්ලකින් පහරදීම නිසා ඔහුගේ හිස පුපුරා ගොස් අනුරාධපුර ශික්ෂණ රෝහලේ දින තුනක කාලයක් ප්‍රතිකාර ලබා තිබෙන අතර ඔහුගේ හිසට මැහුම් පහක් දමා තිබේ.

මාළු චූටි නමැත්තා ඉහළගම හන්දිය ප්‍රදේශයේදී පසුගිය පස්වැනිදා තුවාලකරුවන්ට පහරදී තිබෙන අතර සිද්ධිය වී දින 16ක කාලයක් ගතවී ඇතත් ඔහු අත්අඩංගුවට ගැනීම හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් හිතාමතා මඟහරින බවට ඥාතීහු චෝදනා කරති. මෙම සිද්ධියට අනුබල දුන් බව කියන තැනැත්තකු පොලිසිය පෙරේදා (20දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පහර කෑමට ලක්වූ සූරියරත්න බණ්ඩාර මහතාගේ පුත්‍රයා මෙසේ පැවැසීය.

"මාළු චූටි නමින් හඳුන්වන පුද්ගලයා තාත්තා සමඟ බහින්බස් වීමක් ඇති කරගෙන ඔහුව උස්සා පොළොවේ ගහලා. ඊට මැදිහත් වූ තරුණයකුටත් ගහලා. ඒ පිළිබඳ විමසූ නිහාල් අයියටත් පොල්ලකින් ගහලා. තාත්තා හදවත් රෝගියෙක්. ඔහු සිහිසුන්ව බිම ඇද වැටිලා ඉද්දී කිසිම කෙනෙකුට රෝහලට ගෙනියන්න දීලා නෑ. මගේ මිත්‍රයෙක් ඒ අසල මාර්ගයෙන් යද්දී තමයි තාත්තා තුවාල වෙලා ඉන්නවා දැකලා නිවෙසට අරගෙන ආවේ. පස්සේ බරපතළ තුවාල ලබලා හිටපු තාත්තාව අපි එකතු වෙලා රෝහල්ගත කළා.

මේ සිද්ධිය පිළිබඳ හොරොව්පොතාන පොලිසියට දුරකථනයෙන් දැන්වූවාම රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු ඇවිල්ලා බීමතින් සිටි මාළු චූටි ඔහුගේ ලොරි රථය සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා. නමුත් ඔවුන් ටිකක් දුරට යනකොට කවුරු හරි දුරකථන ඇමැතුමක් දීලා කියලා තියෙනවා ඔහුව මුදාහරින්න කියලා. ඒ අනුව සැකකරුට ලොරි රථය දීලා පලායන්න ඉඩ සලස්වලා තියෙනවා. ඒ සිද්ධිය බොහෝ දෙනකු දැකලා තියෙනවා. නැත්නම් අල්ලගත්ත මනුස්සයා පොලිසියේ ඉන්න ඕනනේ. හොරොව්පොතාන පොලිසියේ සමහර නිලධාරීන් මාළු චූටි සමඟ සම්බන්ධතා පවත්වනවා. අත්අඩංගුවට ගත් සැකකරුට පලායන්න අවස්ථාව දුන්නේ ඔවුන්. පසුව විමසූ විට කියනවා එයාටත් ගහලා තිබ්බ නිසා රෝහල්ගත වෙන්න අවස්ථාව දුන්නා කියලා.

සැකකරු අත්අඩංගුවට ගන්නෑ කියලා පැමිණිලි කරන්න අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරිතුමා ළඟට ගියාම ඔහුට මේ දවස්වල සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට යන්න තියෙනවා කියලා උඩින් පල්ලෙන් අපේ ගැටලුව අහගෙන පැමිණිල්ලක් කරන්න කිව්වා. මේ වෙනකන් පොලිසියෙන් සාධාරණයක් සිදුවෙලා නෑ.

සිද්ධිය වෙලා දින කිහිපයකට පස්සේ අපි කැබිතිගොල්ලෑවේ සහකාර පොලිස් අධිකාරිතුමා හමුවෙලා මේ පැමිණිල්ල කළා. හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් සහකාර පොලිස් අධිකාරිතුමා දුරකතනයෙන් විමසුවා කෝ සැකකරු කියලා. ඔහු රෝහලේ කිව්වා. වගකීමෙන් කියන්නේ ඔහු කිසිම රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගත්තේ නෑ. හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඔහුව රකිනවා. පොලිස් අත්අඩංගුවට ගත්ත සැකකරු මුදාහැරියේ ඔහුයි. ඔහු තුවාල වෙලා හිටියනම් පොලිසියට නීතියට අනුව කටයුතු කරන්න තිබ්බා. අඩුම තරමේ සැකකරුගේ ලොරිය පොලිස් භාරයේ තියාගන්න තිබ්බා.

තාත්තා රෝහලේ හිටියා. නිවෙසට ගෙනැල්ලා දවස් ගණනාවක් හිටියා. නමුත් කිසිම කටඋත්තරයක් ගන්න පොලිසිය නිවෙසට ආවේ නෑ. පහරදුන් දාමරිකයා ප්‍රදේශයේ නෑ කිව්වා. නමුත් ඔහු දිනපතා මාළු වෙළෙ¼දාමට එනවායි" පුත්‍රයා පැවැසුවේය.

පුද්ගලයන් දෙදෙනකුට පහරදීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් මාළු චූටි නමැත්තා මුදාහැරියේ කුමන හේතුවක් නිසාද යන්න සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.පී.එස්.ආර්. සංජීව මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ සැකකරුට රෝහල්ගත වීමට අවශ්‍ය බව පැවැසීම නිසා මුදාහැරි බවයි.

ඕනෑම සිද්ධියකට සම්බන්ධ සැකකරුවකු අසනීපයි, රෝහල්ගත වීමට අවශ්‍යයි කී විටෙක හොරොව්පොතාන පොලිසිය මුදාහරින්නේද යන්න සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයාගෙන් නැවතත් විමසූ විට ඒ මහතා ඊට පිළිතුරු නොදෙමින් නිහඬව සිටියේය.

පලාගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon