ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ දැව සංස්ථා සභාපතිගේ ඇප ප්‍රතික්ෂේප කරයි

  👤  3487 readers have read this article !
By mawbima 2018-08-22

කවින්ධ්‍යා පෙරේරා

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්.ජී. ෂුගර් පෞද්ගලික සමාගමට දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රසූත්‍ර හා ගොඩනැඟිලි පවරා දීම සඳහා අනුමැතිය ලබාදීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් ලබා ගත් බව කියන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා වෙනුවෙන් තුන්වැනි වතාවටත් කරනු ලැබූ ඇප ඉල්ලීම ඊයේ (21දා) ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා සැකකරුවන් ලබන සැප්තැම්බර් 04 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියම කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය ඉඳිකැටියහේවගේ කුසුම්දාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන දෙදෙනාය.

සිද්ධියට අදාළ නඩුව ඊයේ (21දා) කැඳවනු ලැබුවේ සැකකරුවන් වෙනුවෙන් තෙවැනි වතාවටත් කරනු ලැබූ ඇප ඉල්ලීමට අදාළ නියෝගය ප්‍රකාශයට පත්කිරීම සඳහාය.
එම අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා විසින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා වන පී. දිසානායකට අදාළ මහවැලි සංවර්ධන හා පාරිසරික අමාත්‍යාංශය මඟින් ප්‍රකාශ ලබා ගෙන ඇති බවත් කන්තලේ සීනි සමාගම එම්.ජී. ෂුගර්ස් සමාගම වෙත පවරාදීමට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකා පිළිබඳව තවදුරටත් විමර්ශන කරන බවත් අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

මෙම සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබුණේ නො. 27/9, රොස්මිඩ් පෙදෙස, කොළඹ 07 පදිංචි එම්.ජී. ෂුගර් පෞද්ගලික සමාගමේ ප්‍රධානී කොටහාරාලහල්ලි කොඩිඩප්පයියා නඩරාජා නමැති ඉන්දීය ජාතිකයෙකි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්.ජී. ෂුගර් පෞද්ගලික සමාගමට දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර හා ගොඩනැඟිලි පවරා දීම සඳහා අනුමැතිය ලබාදීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540ක් ඉල්ලා එය රුපියල් මිලියන 100ක් දක්වාඅඩු කරගෙන අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 20ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගත්තේ යැයි සැකකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.

අල්ලස් පනතේ 19(අ) (ආ) සහ 16 වැනි වගන්ති ප්‍රකාරව අල්ලස් ඉල්ලීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සැකකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

නඩුව යළිත් ලබන සැප්තැම්බර් 4 වැනිදා කැඳවීමට නියමිතය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon