සැකකරුවන් හත්දෙනා යළිත් රිමාන්ඩ්

  👤  3523 readers have read this article !
By mawbima 2018-08-22

බළපිටිය-දම්සරී ලියනගේ

කතරගම කිරිවෙහෙර රජමහ විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් ඝාතනය කිරීමට සැලසුම් කිරීම සහ වෙඩි ප්‍රහාර එල්ල කළේ යැයි කතරගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 7 දෙනා අගෝස්තු 29 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් ලක්ෂ්මන් ප්‍රියංකර අතපත්තු මහතා නියෝග කළේය.

සැකකරුවන් සම්බන්ධයෙන් වූ
පරීක්ෂණ කඩිනම් කරන ලෙසද ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මඟින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා කතරගම පොලිසියට වැඩිදුරටත් නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කතරගම කිරිවෙහෙර මහසෙන් දේවාලයේ හිටපු කපුවකු වන බෝපෙගෙදර අසේල ලක්මාල් බණ්ඩාර (40), එකම පවුලේ නිවුන් සොහොයුරන් වන ජයවික්‍රම කංකානම්ගේ නුවන් කුමාර (24), ජයවික්‍රම කංකානම්ගේ ධනුෂ්ක (24), මාරපතිරගේ කවිශ්ක දිල්ශාන් නොහොත් කුරුලු (18), ගල්වල ගමගේ අනුරාධ නොහොත් මල්ලි (18), දීපිකා දිල්හානි වීරරත්න (33) සහ ඇයගේ සැමියා වන හේවාවිතානගේ සුගත් නොහොත් රාළහාමි (40) යන සැකකරුවන්ය.

මෙම සැකකරුවන්ගෙන් 06 වැනි හා 07 වැනි සැකකාර යුවළ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දීපිකා සමන්මලී මහත්මිය සිය සේවාදායකයන් වෙනුවෙන් කරුණු දක්වමින් ඔවුන් වෙනුවෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙන බවත් ඇප ලබාගැනීමට නොහැකි වී ඇත්තේ පොලිසිය කඩිනමින් පරීක්ෂණ අවසන් නොකරන නිසා බවත් ප්‍රකාශ කළාය.

සැකකරුවන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා අදාළ ආයතන මඟින් ඉල්ලා තිබෙන බවත්, පරීක්ෂණ ප්‍රමාද වූයේ එම තොරතුරු ඉක්මනින් නොලැබීම නිසා බවත්, කතරගම පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

වෙඩි තැබීම සිදුකළ බව කියන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු නාහිමියන්ගේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු විසින් තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයේදී මීට පෙර පැවැති හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී හඳුනාගැනීමටද සමත් විය. කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමට ගිනි අවි අතැතිව පැමිණි බව කියන මාරපතිරගේ දිල්ෂාන් (18) නොහොත් කුරුලු නමැත්තා මෙසේ හඳුනාගෙන තිබේ. මෙසේ හඳුනාගනුලැබූයේ කතරගම පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් දිසානායක (73870) හා සිවිල් ආරක්ෂක කේ. ඒ. නිශාන්ත යන නිලධාරීන් විසිනි.

2018 ජුනි මස 12 වැනි දින රාත්‍රි 10.40ට පමණ කිරිවෙහෙර නාහිමියන් ඇතුළු තවත් හිමිවරුන් කිහිප නමක් වෙනදා මෙන් කිරිවෙහෙර චෛත්‍ය වහන්සේ වන්දනාමාන කර ආපසු සංඝාවාසයට පැමිණෙමින් සිටියදී විහාරයේ පියගැටපෙළ අසල නුග ගසක් මුල සැඟවී සිටි තුවක්කුකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකදී විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් තුවාල ලැබීය. කිරිවෙහර රජමහා විහාරය ඇතුළු පංචමහා විහාරයන්හි විහාරාධිපතිත්වය දරන රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමි සහ ඒ අසලින් ගමන් කරමින් සිටි කතරගම ජනාධිපති විද්‍යාලයේ ආචාර්ය කිරිවෙහෙර විහාරවාසී වීදාපොල සෝභිත හිමියන්ද මෙම වෙඩි ප්‍රහාරයන්ට ලක්ව බරපතළ තුවාල ලබා එදිනම කතරගම රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

කතරගම රෝහලට ඇතුළත් කරන ලද හිමිවරුන් දෙපළ වැඩිදුර ප්‍රතිකාර සඳහා තිස්සමහාරාම හා හම්බන්තොට යන රෝහල්වලට මාරු කර යැවූ බවත්, හම්බන්තොට මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කිරිවෙහෙර විහාරාධිපති නාහිමියන් ඊට පසු දින ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් කොළඹට රැගෙන ගොස් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලැබූ බවත් කතරගම පොලිසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාවේ සඳහන් වේ. මේ වන විටත් කොබවක ධම්මින්ද හිමියන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වී නැවත රෝහල්ගත කර තිබෙන බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

පළමුවැනි සැකකරු අසේල බණ්ඩාර නමැත්තා වසර ගණනාවක් කිරිවෙහෙර මහසෙන් දේවාලයේ කපුවකු ලෙස කටයුතු කරමින් සිටියදී මීට වසර දෙකකට පමණ පෙර ඔහු ඉන් ඉවත් කිරීමට කිරිවෙහෙර නාහිමියන් කටයුතු කිරීම නිසා රුපියල් ලක්ෂ 30ක මුදල් කොන්ත්‍රාත්තුවක් මත නායක හිමියන් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව ඔහුගේ පාපෝච්චාරණවලින් හෙළිවන බවද කතරගම පොලිසිය තිස්සමහාරාම මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කරුණු දැක්වීය.

විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 18 හැවිරිදි තරුණයන් දෙදෙනාට මුදල් කොන්ත්‍රාත්තුවක් ලබාදී මනුෂ්‍ය ඝාතනයන්ට තැත් කිරීමේ චෝදනා මතත් සෙසු සැකකරුවන් හා සැකකාරිය මනුෂ්‍ය ඝාතනයක් කිරීමට කුමන්ත්‍රණය කරමින් ඊට ආධාර අනුබල ලබාදී ඇති බවට

පරීක්ෂණවලදී හෙළිවන බවටත් 1996 අංක 22 දරන ගිනි අවි සංශෝධන පනත යටතේ හා අංක 44 දණ්ඩ නීති සංග්‍රහයේ 300 වැනි වගන්තිය යටතේ අංක 102, 113 යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් මෙම සැකකරුවන් සිදු කර ඇති බවද තොරතුරු අනාවරණය වන බවත් එම හේතුවෙන් ගිනි අවි යොදාගෙන මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම, ඊට අනුබල දීම හා මනුෂ්‍ය ඝාතනයන් කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා අනුව මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් කතරගම පොලිසිය අධිකරණය හමුවේ පැවැසීය. ඉදිරි පරීක්ෂණ සිදු කරන බැවින් මෙම සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කතරගම පොලිස් ස්ථානාධිපති උපාලි කාරියවසම් මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් සමන් (28030), පොලිස් කොස්තාපල් අමරසිරි (3646), මධුරංග (40888) යන නිලධාරීන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙය වීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon