එස්.එල්.සී. විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය පළමු තරගයෙන්ම කොළඹ ජයගනී

  👤  3574 readers have read this article !
By mawbima 2018-08-22

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන 'එස්.එල්.සී ඊ-20 ලීග්' අන්තර් පළාත් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවැති පළමු තරගයෙන් ලකුණු 90ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට කොළඹ කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් තීරණය කළේය. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 197ක් ලබා ගැනීමට සමත් විය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග පන්දු 67කදී හයේ පහර 11ක් සහ හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 124ක් ලබා ගත්තේය. ශෙහාන් ජයසූරිය ලකුණු 22ක් සහ කොළඹ ඉනිමේ අවසාන භාගයේදී ජීවන් මෙන්ඩිස් පන්දු 13කදී වේගවත් ලකුණු 30ක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය. පන්දු යැවීමේදී කසුන් රාජිත සහ නිෂාන් පීරිස් කඩුලු 2 බැගින් ද ගාල්ල කණ්ඩායමේ නායක සුරංග ලක්මාල් එක් කඩුල්ලක් ද බිඳහෙළීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ගාල්ල කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 5ක් තුළ දවා ගැනීමට කොළඹ ක්‍රීඩකයෝ සමත් වූහ. කෙසේ වෙතත් ඇන්ජලෝ පෙරේරා ලබා ගත් ලකුණු 54 හැර වෙනත් කිසිදු පිතිකරුවකුට ලකුණු 20 සීමාවට ළඟා වීමට නොහැකි වීම කැපී පෙනුණි. පන්දු යැවීමේදී කොළඹ කණ්ඩායමේ අකිල ධනංජය කඩුලු 3ක් සහ ළහිරු මධුසංක කඩුලු 2ක් දවා ගත්තේය.

ලකුණු සාරාංශය

කොළඹ කණ්ඩායම
පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 5කට ලකුණු 197 (උපුල් තරංග 124, ජීවන් මෙන්ඩිස් 30, ශෙහාන් ජයසූරිය 22, කසුන් රාජිත 38/2, නිෂාන් පීරිස් 40/2)
ගාල්ල කණ්ඩායම
පන්දුවාර 19.2කදී සියල්ලන් දැවී ලකුණු 107 (ඇන්ජලෝ පෙරේරා 54, අසේල ගුණරත්න 18,
අකිල ධනංජය 13/3, ළහිරු මධුසංක 12/2)

ඡායාරූප - නුවන් අමරවංශ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon