ත්‍රිපුද්ගල මහාධිකරණය දැන් විවෘතයි

  👤  3534 readers have read this article !
By mawbima 2018-08-22

කේ.එස්. උදයකුමාර්

බරපතළ මූල්‍ය වංචා පිළිබඳ නඩු විමර්ශනය සඳහා පිහිටුවනු ලබන කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර විශේෂ මහාධිකරණ ශාලාව ඊයේ (21දා) අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය විසින් විවෘත කරන ලදී.

කොළඹ, අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේ පිහිටුවා තිබෙන මෙම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ ගොඩනැඟිල්ල නාවික හමුදාව මඟින් ප්‍රතිසංස්කරණය කොට ඉකුත්දා අධිකරණ අමාත්‍යාංශය වෙත භාරදී තිබිණි.

එම ගොඩනැඟිල්ල ඊයේ (21දා) අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය විසින් විවෘත කරනු ලැබීමෙන් අනතුරුව එය අධිකරණ සේවා කොමිසම වෙත භාර දෙන ලදී.

විවෘත කිරීමෙන් අනතුරුව අධිකරණ ඇමැතිනිය අධිකරණ ශාලාව තුළ පිහිටි විත්ති හා සාක්ෂි කූඩු, සිර මැදිරිය, විනිසුරුවරුන්ගේ නිල මැදිරි සහ කාර්යාල පහසුකම් යනාදියද පරීක්ෂාවට ලක් කළාය.

විවෘත කිරීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් පළ කළ අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය, දූෂණයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවට 2015 වසරේ වත්මන් රජය මහජනතාව හමුවේ තැබූ පොරොන්දුවක් දැන් ඉටුකර ඇතැයි කීවාය.

වත්මන් රජය 2015 වසරේ මහජනතාවට පොරොන්දුවක් ලබා දුන්නා දූෂණය මැඬලීමට විශේෂ ක්‍රියාමාර්ග ගන්නා බවට. ඒ අනුව තමයි අද මේ විශේෂ මහාධිකරණය විවෘත කෙරෙන්නේ. මෙම මහාධිකරණය පිහිටුවීම සඳහා අධිකරණ සංවිධාන පනතට යම් සංශෝධන එක් කිරීමට අපිට සිදුවුණා. ඒ වගේම තැනක් හොයා ගන්නත් සෑහෙන කලක් ගතවුණා. කෙසේ වුවත් අපි මෙම අධිකරණය ස්ථාපිත කරන බවට ජනතාවට දුන් පොරොන්දුව දැන් ඉටුකර තිබෙනවා යැයි ප්‍රකාශ කළ අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය, මේ යටතේ ත්‍රිපුද්ගල විශේෂ ස්ථීර මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට නියමිතව ඇති අතර ඉන් පළමුවැන්න මෙය බව ප්‍රකාශ කළාය.

මෙම විවෘත කිරීමේ උත්සවයට අග්‍රවිනිශ්චයකාරවරයා සහභාගි නොවූයේ ඇයි දැයි මාධ්‍යවේදියකු විමසූ විට අධිකරණ ඇමැතිවරිය සඳහන් කර සිටියේ අධිකරණයේ නායකයා වශයෙන් මෙම අධිකරණ පිහිටුවීමේ කටයුතුවලට අගවිනිසුරුතුමාගේ සහාය ලැබෙන බවය.

මේ අතර කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නඩු විභාග කටයුතු මේ මස 24 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.
ඉකුත් රජය සමයේ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවක් මෙම අධිකරණය හමුවේ මුලින්ම විභාගයට ගැනීමට නියමිතය.

2014 වසරේ පෙබරවාරි මස 01 වැනිදා සහ 2015 වසරේ ජනවාරි මස 20 වැනිදා අතර කාලසීමාව තුළ 'ලිට්රෝ ගෑස්' සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 04 දෙනාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ. මෙම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කරන්නේ කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතායි. සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන කොළඹ මහාධිකරණ විනිසුරුවරු දෙදෙනා මෙම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් එක්වී නොසිටි අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති හා ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මෙන්ම අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීහුද එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon