කළුතර එස්.ටී.එෆ්. කුරුමානම වරදී

  👤  3464 readers have read this article !
By mawbima 2018-08-22

චාමර අමරසූරිය, කොළඹ - එම්.සී. පෙරේරා

සංවිධානාත්මක අපරාධයක් සඳහා සූදානම් වන බවට ලද තොරතුරක් මත කළුතර ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් අට දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (21දා) අලුයම් කාලයේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යුද හමුදා විශ්‍රාමික මේජර්වරයකු සිටින බවද පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. තණමල්විල ප්‍රදේශයේ පදිංචි 'සුද්දා' නමැති පාතාල නායකයකුගේ ප්‍රධානත්වයෙන් නිදන් හෑරීම ඇතුළු සංවිධානාත්මක අපරාධයන් කිහිපයක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවට පොලිස් විශේෂ කාර්ය බළකායට මීට සති කිහිපයකට ඉහතදී තොරතුරු ලැබී තිබේ.

'සුද්දා' නමැති පාතාල නායකයාට විරුද්ධව මිනීමැරුම් නඩුවක් සහ ගංජා කිලෝ 200ක් තබා ගැනීමේ නඩුවක් විභාග වෙමින් පවතින බවත් එම නඩුවලට ඔහුට අධිකරණයෙන් ඇප නියම කර සිටින බවත් සඳහන් වේ.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද උපාය දූතයන් ලෙස මෙම කල්ලිය සමඟ සම්බන්ධ වෙමින් ඔවුන්ගේ තොරතුරු එක් රැස් කර ඇත.
තවත් අපරාධ කල්ලියක් ලෙස වෙස්වළා ගනිමින් එම නිලධාරීන් මෙම කල්ලිය සමඟ දුරකථනය ඔස්සේ සම්බන්ධතා පවත්වා තිබේ.

මහා පරිමාණ අපරාධයක් කිරීම සඳහා තම කල්ලියට පොලිස් රාජකාරි ඇඳුමින් කිහිප දෙනකු අවශ්‍ය බවත් එක් අවස්ථාවකදී එම කල්ලි සාමාජිකයන් උපාය දූතයන් ලෙස පෙනී සිටි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට පවසා ඇත. වෙනත් අපරාධ කල්ලියක් ලෙස පෙනී සිටි විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට පාතාල කල්ලිය පවසා ඇත්තේ අදාළ අපරාධය කිරීමට සියලු කටයුතු සංවිධාන කර ඇති බවත් එම නිසා පෙරේදා (20දා) රාත්‍ර 8ට පසු කළුතරදී මුණගැසෙන බවටය.

මෙම පණිවුඩයත් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ විශේෂ කණ්ඩායමක් කළුතර ප්‍රදේශයට පෙරේදා (20දා) රාත්‍රියේ පිටත්ව ගොස් ඇත.
අදාළ පාතාල කල්ලි සාමාජිකයන් මෝටර් රථ දෙකක් සහ වෑන් රථයක නැඟී කළුතර ප්‍රදේශයට පැමිණ තිබේ.

ඒත් සමඟම ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු යොදා ඇත.
ඒත් සමඟම වෑන් රථයේ සිටි පාතාල කල්ලි සාමාජිකයන් එම ස්ථානයෙන් පලා ගොස් තිබේ.

නමුත් මෝටර් රථ දෙකෙහි පිරිස පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අට දෙනා අතර පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වූ පොලිස් පරීක්ෂකවරයා සහ එහි රාජකාරි කටයුතු කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුද සිටින බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. කෙසේ නමුත් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම පොලිස් නිලධාරීන් තිදෙනාද පොලිස් ස්ථානයෙන් රාජකාරි කටයුත්තක් සඳහා පිටතට යන බවට වූ සටහන් දමා පොලිස් ස්ථානයෙන් පිටත්ව පැමිණ ඇති බව පොලිසිය පවසයි.

අපරාධ කල්ලියක් පිළිබඳ තොරතුරු සෙවීමට එලෙස පිටත්ව යන බවටද ඔවුන් එම පොලිස් සටහන් පොත්වල දමා ඇති බවද පොලිසිය කියා සිටී.

තවද එම පොලිස් නිලධාරීන් ඔවුන්ගේ ඉහළ නිලධාරියකු මේ ගැන දැනුවත් කර පොලිස් ස්ථානයෙන් පිටතට පැමිණ ඇති බවද පොලිසිය කියා සිටී. සිවිල් ඇඳුමින් සැරසී රාජකාරි පිස්තෝල දෙකක්ද, උණ්ඩ 20ක් සමඟ ඔවුන් රැගෙන විත් ඇති අතර ඒවාද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් භාරයට ගෙන ඇත.

තවද පොලිස් නිලධාරීන් තිදෙනා පැමිණ ඇත්තේ මෝටර් රථයකිනි. එම මෝටර් රථයේ රියැදුරු ලෙස කටයුතු කර ඇත්තේ යුද හමුදා විශ්‍රාමික ආබාධිත මේජර්වරයෙකි.
අත්අඩංගුවට ගත් පානදුර පොලිස් කොට්ඨාසයේ විශේෂ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාත්, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා හා විශ්‍රාමික මේජර්වරයාත් ඊයේ (21දා) කළුතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මුදා හැරීමට මහෙස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය. මෙලෙස මුදා හැර තිබුණේ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂක දිල්රුක් කොළඹගේ, පානදුර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ කොස්තාපල්වරුන් වන සංජීව, ගමගේ සහ විශ්‍රාමික මේජර් ගුණරත්න යන අයවලුන්ය.

සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූයේ මේ සිවුදෙනා අත්අඩංගුවට ගත්තේ වැරැදීමකින් බව යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. අත්අඩංගුවට ගත් අනෙකුත් සැකකරුවන් වන පාතාල සාමාජික ඒ. වී. ප්‍රසාද් නොහොත් තණමල්විල සුද්දා, එන්. ඒ. පුෂ්පකුමාර, ජේ. එච්. මෙන්ඩිස් හා කේ. ඊ. එච්. කුමාර යන අයවලුන් හෙට (23දා) දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය. කළුබෝවිල රෝහලේ එක් අයකු පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අභ්‍යන්තර විමර්ශනයක් සිදුකරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon