සැප්තැම්බර් 15දා පමුණුව නගරයේදී විරෝධතාවක් පවත්වනවා කර්මාන්ත ක්‍ෂේත්‍රයේත් විශාල අර්බුදයක් මතුවෙලා - ආචාර්ය බන්දුල ගුණවර්ධන

  👤  3292 readers have read this article !
By mawbima 2018-09-11

ඉෂාරා සිල්වා

ඩොලරයේ විකුණුම් මිල රු. 164 දක්වා ඉහළ යෑමත් සමඟ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පිටරටින් ගෙන්වන අමුද්‍රව්‍ය සඳහා වැඩි මිලක් ගෙවීමට සිදුවීම හේතුවෙන් මෙරට කර්මාන්ත කේෂ්ත්‍රය තුළ විශාල අර්බුදයක් මතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

උදාහරණයක් ලෙස රෙදි පිළි කර්මාන්තය ගතහොත් විදේශයෙන් ආනයනය කරන ලද රෙදි සහ අදාළ අමුද්‍රව්‍ය නිදහස් කරගැනීම සඳහා ඩොලරයකට රු. 164 ගණනේ ගෙවීමට සිදුවීමත් අගෝස්තු 16 වැනිදා සිට 15%ක අමතර වැට් බද්දක් ගෙවීමට සිදුවීමත් හේතුවෙන් අමුද්‍රව්‍ය සහිත කන්ටේනරයක් නිදහස් කරගැනීමට පෙර ගෙවූ මුදලට වඩා රුපියල් ලක්ෂ 20-25ක් වැනි මුදලක් වැඩිපුර ගෙවීමට කර්මාන්තකරුවන්ට සිදුවන බවද මන්ත්‍රිවරයා පැවැසීය.

එවැනි විශාල මුදලක් ගෙවීමට සිදුවීම හේතුවෙන් විදේශයෙන් ආනයනය කළ අමුද්‍රව්‍ය සහිත කන්ටේනර් 200ක් පමණ කර්මාන්තකරුවන් මුදල් ගෙවා නිදහස් කර නොගැනීම නිසා වරායේ ගොඩගැසී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. රෙදි පිළි කර්මාන්තකරුවන්ට තිබෙන අර්බුද පිළිබඳ දැනුවත් කිරීම සඳහා සැප්තැම්බර් 15 වැනිදා මහරගම පමුණුව නගරයේදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත් ඉදිරි පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් මන්ත්‍රිවරයා පැවැසුවේය.

පෙරේදා (9දා) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon