'සුවසැරිය' ගිලන් රථ සේවය නොතිබුණා නම් 5වැනිදා කී දෙනකු මැරෙනවාද?

  👤  3261 readers have read this article !
By mawbima 2018-09-11

ඉදිරියේදී පළමුවෙන් පැවැත්වෙන්නේ පළාත් සභා ඡන්දය නිසා ඒ සඳහා එක්සත් ජාතික පාක්‍ෂිකයන් එයට සූදානම් විය යුතු බව එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසීය.

මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්‍ෂිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අගමැතිවරයා මෙසේද පැවැසීය.

මැයි දිනයේදී අපේ සියලු දෙනාගේම සිතේ තිබුණෙ ඡන්ද ප්‍රතිඵල ගැනයි. ඉන් අපට විශාල පහරක් වැදුණා. අපට ඉන් ගොඩඑන්න පුළුවන්. නමුත් බොහෝ අය බලාපොරොත්තු රහිතව ආවේ. මාධ්‍යයත් කීවා යූ.එන්.පී. එක ඉවරයි කියලා. නමුත් සමහරු හිතුවා අපි ආර්ථිකය හදලා යළි ඒ අයට භාර දෙන්න යනවා කියලා. රටේ ආර්ථිකය හැදුවේ අපේ අත්උදව්වෙන්. 1977 එජාප ආණ්ඩු බලයට ආ විට ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුව යටතේද, ඉන් පසුව ආර්. ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුව යටතේද අපි මේ රටට ආර්ථිකයක් ඇතිකර දුන්නා.

2002 වසරේ යළි ආණ්ඩුව භාරගත් පසුව ඒ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබුණේ. ආර්ථිකය ගැන හිතන්නේ නැතිව යුද්ධය ගැන හිතලා කොටින් ඇවිත් කටුනායකට ගහලා අපේ ගුවන්තොටුපොළත් අපේ වරායත් විනාශ කළා. ඉන් අපේ අපනයන ආනයනය ඇති වුණේ නැහැ. අන්තිමට ශීඝ්‍රයෙන් ආර්ථිකය කඩා වැටුණා. එයට පිළියමක් තිබුණේ නැහැ.
පසුව අප ආණ්ඩුවක් ඇති කරමින් සිටින විට ඡන්දයක් තැබුවා. අප ඉන් පැරදුණා. අපි හැදූ ආර්ථිකය ඒ අයට භුක්ති විඳින්න බැරි වුණා. නමුත් දැන් අපි ආයෙමත් ආණ්ඩුව ගත්තා. දැන් ආයෙමත් අපේ පාක්‍ෂිකයන් බිය වී ඉන්නවා මේ හැදූ ආර්ථිකය යළි නැතිවෙයිද කියලා. නමුත් මෙය හැදුවේ අපේ අයටත් රටටත් වාසිය දීලා මීළඟ ඡන්දෙදිත් එක්සත් ජාතික පක්‍ෂය ඉදිරිපත්වී ජය ගන්නයි. අප දැන් කරගෙන යන්නේ එයයි. අමාරු කාලයක් තියේවි. අප අපේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව නැති කරගන්න බලාපොරොත්තුවක් නැහැ.

2001 වසරේ සටන් විරාම ගිවිසුමක් ඇති කළා. සාකච්ඡාවට ගියා. ඒ තුළින් අපේ වරායන්, ගුවන්තොටුපොළවල් විවෘත වෙන්න පටන් ගත්තා. ආර්ථිකය දියුණු වෙන්න පටන් ගත්තා. ඩොලර් මිලියන 4000ක මුදලක් ඒ මිත්‍ර රටවල් දෙන්න පොරොන්දු වුණා. 2002 ආර්ථිකය නැඟිටින්න පටන් ගත්තත් 2003 එය යළි කඩා වැටුණා. සමහරු සාම සාකච්ඡා පාවාදීමක් කියා කෑ ගැසුවා. ප්‍රභාකරන් කීවා සාම සාකච්ඡා උගුලක් කියලා. ඒ අයට නැඟෙනහිර නැතිවුණා කියලා සාකච්ඡාවට එන්න බෑ කිව්වා. ඒ නිසා ජනතාව අපිව ‍ෙදාට්ට දැම්මා. නමුත් අපි හදලා දුන් එකෙන්වත් ඒ ආණ්ඩුවට ප්‍රයෝජනය ගන්න බැරි වුණා. අපි 2015 ආණ්ඩුව භාරගත් විට එදාට වඩා අමාරු තත්ත්වයක් තිබුණේ.

වසර හයක් ජනාධිපතිකම තියාගෙන වසර හතරෙන් ගෙදර යන්නේ කවුද? සමහරු කීවා අපට භාරගන්න එපා කියලා. අපි පොදු අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කර සභාග ආණ්ඩුවක් ඇතිකර මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදුවුණා. සමහර තැන්වල වියදම්ද අඩුකරන්න සිදුවුණා. සමහර තැන්වල වැට් වැඩිකරන්න සිදුවුණා. සමහර තැන්වල මුදල් ප්‍රමාණය අඩුවුණා. මේ ක්‍රමයට අපට ඉදිරියට යන්න පුළුවන් වුණා. ණය බර පමණක් නොව නියං තත්ත්වයක් ආවා. කන්න හතරක නියං තිබුණා. ගංවතුර ආවා. නමුත් මේ රටේ දළ දේශීය නිෂ්පාදනය සියයට දාහතරක් වැඩිකරන්න අපට පුළුවන් වුණා.

නියඟයක් ඇති වුණා. නිසි ලෙස ගොවිතැන වගා කරගන්න බැරිවෙලා එළවළු, පලතුරු මිල වැඩිවෙලා පොල් මිල වැඩිවෙලා ගොවීන්ට පොහොර නැතිවෙලා තියෙන අමාරු අවස්ථාවකයි අපි ඡන්දෙට ගියේ. ඉතින් කවුද අපට ඡන්දේ දෙන්නේ. ඒ වුණත් අප ජනතාව අමතක කළේ නැහැ. හෘද රෝගීන්ට නොමිලේ ස්ටෙන්ත් ලබා දුන්නා. අක්‍ෂිකාච ඇතුළු ඔෟෂධ 38ක මිල නියාමනය කළා. පිළිකා රෝගීන් සඳහා ජිවිතාන්තය දක්වා රුපියල් ලක්‍ෂ පහළොව ගාණේ ලබා දුන්නා.

අත්‍යවශ්‍ය ඔෟෂධ 48ක මිල අඩු කළා. සූවසැරිය ගිලන් රථ සේවය
දීප ව්‍යාප්තව ඇති කළා. මේ ගිලන් රථ සේවය තිබුණේ නැතිනම් පස්වැනිදා කීදෙනෙක් මැරෙනවාද?

ඡන්දෙන් පසුව අප මොනවද කළේ. ජනතාව අපට පණිවුඩයක් දුන්නා වෙනස් වෙන්න කියලා. අප වෙනස් වෙන්න පටන් ගත්තා. නමුත් අප සම්පූර්ණයෙන්ම වෙනස් වුණේ නැහැ. ඉදිරියේදී අලුත් වැඩ කරගෙන යන්න වෙනවා.

පොහොට්ටුවට මහජනතාව දී ඇති පරමාධිපත්‍ය ඒ අය බේබද්දන්ට දෙනවා. අප ඒ අයට ප්‍රාදේශීය සභා භාර දුන්නා. දැන් ගම හදලත් ඉවර ඇති නේද? ඒ නිසා දැන් අප අපේ වැඩකොටස කරමු. සමහරු ගම්වල වැඩ කරන්න දෙන්නේ නැහැ. ජනතාවට අමාරුකම් තිබෙනවා කියා අප පිළිගත යුතුයි.

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon