20න් කරන්නේ විධායක ධුරය පාර්ලිමේන්තුවට යම් පමණකට වගකියන තනතුරක් කිරීමයි

  👤  3326 readers have read this article !
By mawbima 2018-09-11

ගෝඨාභය රාජපක්ෂ මහතා විසිවැනි ආණ්ඩුක්‍රම සංශෝධනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්මාණය වගේ දේවල් පිළිබඳව කතා කිරීමට පෙර වයස ගැන ටිකක් නොබලා මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් ටිකක් දේශපාලනය ඉගෙන ගෙන හදාරන්න අවශ්‍ය වෙනවා'යැයි ජනතා විමුක්ති පෙරමුණ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගිය 9දා මතුගමදී කීවේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මතුගම යටියන ජී.එස්. උත්සව ශාලාවේදී පැවැති සම්මන්ත්‍රණය අමතා නලින්ද ජයතිස්ස මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.

නලින්ද ජයතිස්ස මහතා මෙසේද කීය.

විධායක ජනාධිපති ධුරය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරන මතය මොන වගේද? කියලා අහල දැනගත යුතුයි. එහෙම නොවුණහොත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේක තේරෙන්නෙ නැහැ. මොකද එතුමා හැම තිස්සෙම වැඩ කරලා තියෙන්නෙ මහා බලයක් සහිත වැඩ කළ හැකි තැන්වලයි. හමුදාවේ සිටියදීත් ආරක්ෂක ලේකම් ලෙසත් කටයුතු කරලා තියෙන්නෙ ඒ ආකාරයටයි. සමහර අය කියනවා නාගරික සංවර්ධන අධිකාරිය අරගෙන එතුමා කොළඹ කුණු ඉවත්කළා, පාරවල් හැදුවා කියලා. ජනාධිපති ධුරයට ඒකම සුදුසුකමක් කියලා සමහරු හිතනවා. ආරක්ෂක ලේකම් ධුරයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සාර්ථක වුණේ තනිකරම ඔහුගේ දක්ෂතාව නිසා නම් අපේ රටේ රාජ්‍ය පරිපාලන සේවය විසුරුවා හරින්න ඕන. මොකද ප්‍රාදේශීය ලේකම්වරයාගේ සිට ඉහළට ඉන්න අත්දැකීම් බහුල නිලධාරීන්ගෙන් එහෙම නම් වැඩක් නැහැ. මහා බලයක් අතේ තියාගෙන හිටියාම ඕන පඹයකුට වැඩ කරන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ නිකම්ම නිකම් අමාත්‍යාංශ ලේකම් කෙනකු නෙවෙයි. විධායක ජනාධිපති ධුරයේ බලය, විධායක ජනාධිපති ධුරයේ හිටපු අයියගෙ බලය, රටේ ආර්ථිකයෙන් තුනෙන් දෙකක් අතේ තියාගෙන හිටපු අනෙක් අයියගෙ බලය, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඇතුළු සියලු බලය අතේ තියාගෙන ඉන්න නිලධාරියකු ඉන්නවා නම් පාරවල් හදන්න නෙවෙයි රටක් අනෙක් පැත්ත ගහන්න පුළුවන්.

මේක අත්තනෝමතික බලයක්. හැබැයි ඒක ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණියි. රාජ්‍ය සේවය කියන්නෙ ඒක නෙවෙයි. ඒ නිසා එතුමා තව බොහෝ දේ ඉගෙන ගත යුතුව තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් පස් වැනිදා අපේ රටේ ඉතිහාසයට එකතු වන දිනයක් වෙනවා. ඒකට හේතුව ඒකාබද්ධ විපක්ෂය කොළඹට මහ සෙනඟක් ගේනවා කියලා පාරම්බාලා අනාථ වූ නිසා නෙවෙයි. මාධ්‍ය මඟින් වැඩිපුර ප්‍රචාරය නොකළත් 20 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනාවේ පසුගිය සැප්තැම්බර් පස් වැනිදායි.

2015දී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහාම පොදු අපේක්ෂකයකු ඉදිරිපත් වුණා. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට අමතක වුණත් එතුමා පොදු අපේක්ෂකයා වුණේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ කොන්දේසි මතයි.

ජනතාව ඡන්දය දුන්නෙ ඒ නිසා මිස වෙන කාරණා නිසා නෙවෙයි.

අපි මේ විසිවැනි සංශෝධනයෙන් කරන්නෙ පවතින විධායක ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවට යම් පමණකට වගකියන ජනාධිපති ධුරයක් බවට පත් කිරීම පමණයි. මේ මඟින් විධායක ජනාධිපති ධුරය මුළුමනින්ම අහෝසි වෙන්නෙ නැහැ. 78 ව්‍යවස්ථාවට අනුව විධායක ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා, රාජ්‍ය නායකයා, සේනාධිනායක මේ සියල්ල ජනාධිපතිවරයායි. මේ වගන්ති අතරින් රාජ්‍යයේ නායකයා තවදුරටත් ජනාධිපතිවරයා බවට තබා ගනිමින් ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති බවට පත් කරන සංශෝධනය මේ මඟින් සිදුවෙනවා. මේ රටේ සන්නද්ධ අංශවල ප්‍රධානියා ලෙස තිබෙන බලය 20 වැනි සංශෝධනයෙන් ඒ ආකාරයෙන්ම ජනාධිපතිට තිබෙනවා.

දැනට ජනාධිපති අත්තනෝමතිකව ක්‍රියාත්මක කරන සමහර දේවල් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව සිදු කළ යුතුය යන්න වෙනස්කර තිබෙනවා. මේ රට නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රිකයන් පත් කිරීම, ජනාධිපති සමාව ප්‍රදානය කිරීම ජනාධිපතිගේ හිතුමතේ කිරීම වෙනුවට කැබිනට් මණ්ඩලයේ අනු දැනුම ඇතිව කළ යුතු බවට යෝජනා කර තිබෙනවා. 19 වැනි සංශෝධනයෙන් දැනටමත් මෙවැනි බලතල කීපයක් අඩු කර තිබෙනවා.

පාර්ලිමේන්තුවට වගකියන මේ ජනාධිපති ධුරය තෝරා ගැනීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රි බහුතරයෙන් තෝරා ගත යුතු බවට අපි යෝජනා කර තිබෙනවා. එසේ පත් කර ගැනීමේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන කෙනකුට මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටත කෙනකුටද අවශ්‍ය නම් අපේ රටේ ජනාධිපති වීමට හැකියාව තිබෙනවා. දේශපාලනඥයකු නොවන ලොව පිළිගත් කීර්තිමත් පුද්ගලයකු රාජ්‍ය නායකයා කර ගැනීමට හැකියි.

උදය ගම්මන්පිල මහතා මේ සංශෝධනයට විරුද්ධව උසාවි ගිහිල්ලා තිබෙනවා. කොහොමටත් මේකට උදය ගම්මන්පිල මහතාගේ ඡන්දය නම් නැතිවාට කමක් නැහැ. තුනෙන් දෙකෙන් සම්මත කරගන්න අවශ්‍ය මන්ත්‍රිවරු 150ක් පමණයි. ඒකට උදය ගම්මන්පිල නැතිවුණාට කමක් නෑ. එතුමලා මේ රටේ ඒකාධිපති අත්තනෝමතික විධායක ක්‍රමය අහෝසි කරන්න එකඟ වන අය නෙවෙයි.

මතුගම - වසන්ත කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon