තරු හතේ හෝටල්වල සංවිධානය කළ උද්ඝෝෂණය අවසානයේ පුස්සක් වුණා

  👤  3351 readers have read this article !
By mawbima 2018-09-11

විපක්ෂයේ උදවිය පසුගියදා තරු හතේ හෝටල්වල සිට සංවිධානය කළ උද්ඝෝෂණය අවසානයේ පුස්සක් බවට පත් වූ බවත් පසුව අට්ටාලයක් ගසා ආරම්භ කළ මාරාන්තික උපවාසයට සිදුවූයේද විමල් වීරවංශගේ උපවාසයට සිදුවූ දේ බවත් අතළොස්සක් සිටි මාරාන්තික උපවාසය පැය දෙකකට පසු තරු හතේ හෝටල්වලින් කාබී අවසන් කළ බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකළ 'විමන්කල්ලු ග්‍රාමම්' සහ 'සිවානගර්' යන 116 සහ 117 වැනි උදාගම්මාන ජනතා අයිතියට පත් කිරීම නිමිත්තෙන් පැවැති උත්සවය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කෙළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.

රටේ ජනතාව අප කෙරෙහි විශ්වාසය තබා අපට ලබාදුන් ජනවරම කිසිවිටක පලුදු නොකර ජනතා සංවර්ධන ව්‍යාපාරය අප ඉදිරියට කරගෙන යනවා.

ඇතැමුන් රටේ ජනතාව හැමදාම රවට්ටන්න පුළුවන් කියා සිතා ගෙන සිටිනවා. බොරුවෙන් දිනන්නට පුළුවන් කියා ඔවුන් සිතනවා. ජනතාවගේ මනස විකෘති කර දේශපාලන ජයග්‍රහණ ලබා ගන්නට පුළුවන් කියා මේ අය සිතනවා. අපේ රටේ ජීවත් වන්නේ මෝඩයන් පිරිසක් නෙවෙයි. රටේ සිටින සෑම පුරවැසියෙක්ම හොඳින් සත්‍යය අවබෝධ කරගෙන තිබෙනවා.

විසි හතර පැයම, තුන්සිය හැටපස් දවසම ජනතාව රවට්ටන්නට, මුළා කරන්නට අද විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. ඒ වෙන මොනවාටවත් නොව බොරුවෙන්, වංචාවෙන්, කපටිකමින් ජනතාව රවටා යළි රජ මාලිගාවට ගොස් තමන්ට සහ තම පවුල් පරපුරට රටේ රාජ්‍ය සම්පත් බෙදා ගන්නටයි. රටේ ජනතාව මේ සඳහා කිසිවිටක ඉඩ තබන්නේ නැහැ. අපට මෙවැනි කෑදරකමක් නැහැ. ඔබ අප කෙරෙහි විශ්වාසය තබන්න. එම විශ්වාසය තුළ ඔබේ දෙපතුළ ළඟට පැමිණ ඔබට සැබෑ සංවර්ධනයක් ලබා දෙන්නේ යහපාලන ආණ්ඩුව. අපේ සැබෑ අරමුණ වන්නේද එයයි.

පසුගිය දවසක විපක්ෂයේ පිරිස උත්සාහ කළේ බොරුවෙන් රජ වන්නටයි. මුසාවෙන් රජ පුටුවට යන්නටයි. පොහොට්ටුවේ හාදයන් ජනතාව රවටා, මුළා කර ඉතාම අසාර්ථක මෙහෙයුමක් සිදු කළා. පොහොට්ටුවේ නායකයන් මෙම උද්ඝෝෂණය සැලැසුම් කළේ තරු පහේ, තරු හතේ හෝටල්වල සිටයි. මෙහි සැබෑ අරමුණ කුමක්ද? ජනාධිපතිතුමා හා අගමැතිතුමා එළවනවා කියා. ආණ්ඩුව පෙරළනවා කියා ජනතාව මුළා කර කුපිත කර ඔවුන් රවටා බලය ලබා ගන්නටයි. නමුත් පොහොට්ටුව සිදු කළ මෙම උද්ඝෝෂණය මෑත ඉතිහාසයේ රටේ සිදු කළ අසාර්ථකම උද්ඝෝෂණයයි. ඔවුන් මේ දේවල් කරන්නේ රටේ ජනතාව වෙනුවෙන් නෙවෙයි. ඔවුන් මේ උද්ඝෝෂණය සිදු කළේ රටේ ඉඩම් ටික අසරණ ජනතාවට ලබා දෙන්නද? රටේ නිවාස හදන්නද? තරුණ පරපුරට රැකියා බෙදා දෙන්නද? විරුද්ධවාදීන් මේ දේ කළේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන්නට නෙවෙයි. ඔවුන් එසේ කළේ බලයේ සිටියත්, විපක්ෂයේ සිටියත් තම පවුලේ බලය තහවුරු කර ගන්නයි. සින්නක්කර දේශපාලන ඔප්පුව එක් පවුලකට ලබා ගන්නයි. ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දීම හොඳද? නරකද? නිවාස නොමැති ජනතාවට නිවාස ලබා දීම හොඳද? නරකද? උදා ගම්මාන ඉදිකර රටේ ලක්ෂ 25ක් වන පවුල්වලට විසඳුම් ලබාදීම හොඳද? නරකද? රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලබාදීම හොඳද? නරකද? මේ සියලු කරුණු කාරණා පිළිබඳව තීන්දු ගත යුත්තේ රටේ ජනතාවයි. දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ නාමයෙන් වසර 2025 වන විට රටේ සියලු දෙනාගේම නිවාස ප්‍රශ්නය විසඳන්නට මා ඇප කැප වී කටයුතු කරන බව මා සතුටින් ප්‍රකාශ කරනවා.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon