ජනබලය කොළඹට අරමුණ වුණේ ආණ්ඩුව පෙරළීම නොවෙයි

  👤  3358 readers have read this article !
By mawbima 2018-09-11

ජනතා විමුක්ති පෙරමුණ වර්තමානයෙහි සම්මුති ආණ්ඩුවත් සමඟ මේස පන්දු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටිනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි.
ඊයේ (10දා) සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකට කොළඹදී එක්වෙමින් ඒ මහතා මෙසේ පැවැසීය.

වාසුදේව නානායක්කාර මහතා මෙසේද පැවැසීය.

ජන බලය කොළඹට විරෝධතාවයේ අරමුණ වුණේ ආණ්්ඩුව පෙරළීම නොවෙයි. එහෙම දෙයක් කියවුණා නම් ඒ කිව්වේ ආණ්ඩු විරෝධී ජනයා උනන්දු කරවීමටයි. මේ විරෝධතාව ඉතාම සාර්ථකයි. නමුත් ආණ්ඩුව කියන්නේ මෙය අසාර්ථකයි කියලයි. අපි එදා කොළඹ නගරය අක්‍රිය කළා. අපි ඉදිරියේදී මුළු ලංකාව පුරාම මෙම විරෝධය පෑමට බලාපොරොත්තු වෙනවා. එය විශාල වැඩ වර්ජනයක් සහිත ජනතා විරෝධයක් වේවි. ඉන් ආණ්ඩුව විශාල අවදානමකට ලක් කළ හැකියි. අපිට අවශ්‍ය වුණේ කොළඹ අත්පත් කරගැනීමටයි. අපි එය කළා. අවශ්‍ය බලය යොදවනවා කියපු පොලිස්පතිව පොලිස් කොමිසමෙන් ප්‍රශ්න කරන්න යනවාලු. පොලිස්පතිතුමාට ඉල්ලා අස්වෙන්න වෙයිද දන්නේ නැහැ.

අපි ජන බලය කරනා විට එජාපය සංවත්සරයක් කළා සිරිකොත කියන හුන්ඩුවේ. පළාත් සභා ඡන්දයේදී අපේ දෙවැනි ප්‍රහාරය ආණ්ඩුවට එල්ල කරන්න සූදානම්. ඉන් අනතුරුව ආණ්ඩුවේ ඇති අවුල තීව්‍ර වෙයි. ආණ්ඩුව ඇතුළේ ප්‍රතිවිරෝධයන් ගණනාවක් තිබෙනවා. රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් විරුද්ධයි ආණ්ඩුවේ ස්ථාවරයන්ට. ව්‍යවස්ථාව ගැන බොහෝ මත තිබෙනවා ආණ්ඩුවේ. පළාත් සභා ඡන්දය කල් දාන්නේ මෙවැනි හේතු නිසයි.

20 වැනි සංශෝධනය අරන් එන්නේ අගමැති බලවත් කිරීමටයි. අගමැතිට දැන් තිබෙන බලයත් වැඩියි. මේ අගමැති බලවත් කරන්නට අපිට දායක වෙන්න අවශ්‍ය නැහැ. 20 සංශෝධනයට හසුවෙන්නට එ.ජා.ප. විරෝධීන් කවුරුවත් ලෑස්ති නැහැ.

20 වැනි සංශෝධනයට අනුග්‍රහය දෙන්නේ එ.ජා.ප.යයි. මේවා රහස් නොවෙයි. එ.ජා.ප.යයි දැනුම් දෙන්නේ ජ.වි.පෙට පාර්ලිමේන්තුවේදී යෝජනා ඉදිරිපත් කරන්න කියලා. ජනාධිපතිතුමා රත්නපුරේ ගිහින් කියනවා මිනිසුන්ට ගඟට ‍ෙදාළට බැහැලා කූඩයෙන් වැලි ටිකක් හෝදලා දළං කෑල්ලක් සොයාගන්න තියෙන අයිතිය ලබාදෙන්න කියලා. එතුමා කියන්නේ පොලිසියට සහ ඒ අනිකුත් අදාළ ආයතනවලටයි. මේක කියන්න අවුරුදු 3ක් ගියානේ. ප්‍රමාදවෙලා හරි ප්‍රකාශය කරපු එකට ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා. නමුත් ප්‍රකාශය ප්‍රමාණවත් නැහැ. එය ක්‍රියාත්මක විය යුතුයි.

ජ.වි.පෙ. තමන්ගේ රාජකාරිය හොඳින් ඉටුකරගෙන යනවා ආණ්ඩුව වෙනුවෙන්. ටිල්වින් සිල්වා ලේකම්තුමා කියනවා අපි ඉල්ලලා නෙවෙයි මේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලැබුණේ කියලා.

ඉතින් 6 දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්න පිරිසකට මේ සංවිධායකකම ලැබුණහම සදාචාරයක් තිබෙනවා නම් අහන්න පුළුවන්නේ ඇයි මේ කියලා. නමුත් එහෙම කිව්වේ නැහැ. මේක භුක්ති විඳිමින් ඉන්නවා ජ.වි.පෙ. විසින්. අනුර කුමාර පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන්නේ පසුගිය ආණ්ඩුවට පහර වදින ආකාරයටයි. මේ ප්‍රශ්නවලට ආණ්ඩුවට හොඳට උත්තර දෙන්න පුළුවන්.

ක්‍රිෂාන් පතිරත්
ජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon