අනාරක්‍ෂිතව මෝටර් රියක් පදවා තරුණයකු මැරූ පාසල් සිසුන් දෙදෙනා රිමාන්ඩ්

  👤  3338 readers have read this article !
By mawbima 2018-09-11

කුමුදු උපුල් ශාන්ත

අනාරක්‍ෂිත ලෙස මෝටර් රථයක් පදවා මහරගම පොල්වත්ත ප්‍රදේශයේ ධාවනය කරමින් තිබූ යතුරුපැදි දෙකක් අනතුරට පත් කරමින් එක් යතුරුපැදියක සිටි අධිකරණ සේවයක නියුතු තරුණයකු මරණයට පත් කරමින් තවත් තරුණයන් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකාර 17 හැවිරිදි බාලවයස්කාරයන් දෙදෙනා මේ මස 21දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය නියෝග කළාය.

හොන්නන්තර හා කොට්ටාව ප්‍රදේශයේ පදිංචි සැකකාර බාලවයස්කාරයන් දෙදෙනකු එසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර ඔවුන් කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් දෙදෙනකු බවද පොලිසිය පවසයි.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ පන්නිපිටිය, පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි කොළඹ මහාධිකරණයේ සේවය කළ නදුන් දර්ශන නමැති 27 හැවිරිදි තරුණයෙකි.

ඉහත කී යතුරුපැදි දෙක පන්නිපිටිය ප්‍රදේශයේ සිට තලවතුගොඩ ප්‍රදේශයට ධාවනය කරමින් යන අතරතුර සැකකාර තරුණයන් දෙදෙනා පැමිණි මෝටර් රථය පසුගියදා (07දා) රාත්‍රි 11.30ට පමණ පොල්වත්ත මංසන්ධිය ආසන්නයේ මාර්ගයේ පෙරළී ඇදී ගොස් යතුරුපැදි දෙකේ ගැටී එකී අනතුර සිදුව ඇති බවද අනාවරණය වේ.

මෙම සිද්ධියෙන් අධිකරණ සේවයේ නියුතුව සිටි තරුණයා එම ස්ථානයේදීම මියගොස් ඇති බවද සෙසු තරුණයන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද අනාවරණය වෙයි.

අනතුරින් පසු එකී සැකකරුවන් දෙදෙනා අනතුර සිදුවූ ප්‍රදේශයේ කැලයකට රිංගා ජංගම දුරකථනයක් මාර්ගයෙන් ඔහුගේ හිත මිතුරකුට කළ දැනුම් දීමකින් පසු එකී මිතුරා වාහනයකින් පැමිණ සැකකාර බාල වයස්කරුවන් දෙදෙනා හොර රහසේ රැගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

තමන් මෝටර් රථය පැදවූ බවට එක් අයකු පිළිගෙන ඇති නමුත් රථය ධාවනය කළ පුද්ගලයා කවුද යන්න පිළිබඳව නිශ්චිත වශයෙන් තහවුරු කර ගැනීම සඳහා රස පරීක්‍ෂක වාර්තා කැඳවන ලෙසටද අධිකරණයෙන් මහරගම පොලිසියට නියම කෙරිණි.

මහරගම පොලිසියේ පොලිස් කොස්තාපල් වික්‍රමතුංග (56816) සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම සැකකරුවන් දෙදෙනා ඉතා අධික වේගයෙන් මෝටර් රථය ධාවනය කර ඇති බවත් එය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා මෝටර් රථය පාර මැද පෙරළී ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වන බවය.

මෙම සැකකරුවන් දෙදෙනාට ඇප ලබා නොදෙන ලෙස ඉල්ලමින් මියගිය තරුණයාගේ ඥාතීන් හා හිතමිතුරන් පන්සියකට අධික පිරිසක් ඊයේ පස්වරුවේ නුගේගොඩ අධිකරණය ඉදිරිපිට විරෝධතාවකද නිරත වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon