අඹ වෑංජනයක් සඳහා අඹ ගෙඩි 3ක් කඩා ගැනීමේ සිද්ධිය ඔක්තෝබර් දෙවැනිදා නඩුව විභාගයට

  👤  3356 readers have read this article !
By mawbima 2018-09-11

අනුරාධපුර - ආනන්ද කරුණාදාස

අසල්වැසි නිවෙසකින් අඹ ගෙඩි 19ක් සොරකම් කළ බවටත් සොරකම් කරන ලද එම අඹ ගෙඩි දහනවය සන්තකයේ තබාගත් බවටත් වයෝවෘද්ධ කාන්තාවකට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුව ලබන ඔක්තෝබර් මස 2 වැනි දින විභාගයට ගැනීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

අඹ ගෙඩි 19ක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව නඩුව අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ යළි කැඳවූ අවස්ථාවේ මෙසේ නියෝග කරනු ලැබීය.

අඹ ගෙඩි 19ක් සොරකම් කළ බවටත් සොරකම් කරන ලද එම අඹ ගෙඩි 19 සන්තකයේ තබාගත් බවටත් පැමිණිල්ල විසින් තමන්ට එල්ල කර ඇති චෝදනා තමන් තරයේ ප්‍රතික්‍ෂේප කරන බව අධිකරණයට දැනුම් දුන් සැකකාර කාන්තාව තමන් නිවැරැදිකරු බවද අධිකරණයට දැන්වීය.

සැකකාර කාන්තාවට ලබන ඔක්තෝබර් මස 2 වැනි දින යළි අධිකරණයට හමුවේ පෙනී සිටින ලෙසටද මහෙස්ත්‍රාත්වරයා තවදුරටත් නියෝග කළේය.

අනුරාධපුර සාලියපුර ජයන්ති ග්‍රාමයේ පදිංචිකාරිනියක මෙම නඩුවේ චූදිත කාන්තාවයි.
තම ගෙවත්තේ ඇති අඹ ගසකින් ගෙඩි 19ක් මෙම සැකකාර කාන්තාව සොරකම් කළ බවට අනුරාධපුර සාලියපුර ජයන්ති ග්‍රාමයේ කාන්තාවක් අනුරාධපුර මූලස්ථාන පොලිසියට කර තිබූ පැමිණිල්ලකට අනුව සැකකාර කාන්තාව මීට පෙර අනුරාධපුර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

මෙම පැමිණිල්ල පොලිසිය තුළදීම සමථයකට පත්කර ගන්නා ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක වාස් ගුණවර්ධන මහතා පැමිණිලිකාරියට මුල් අවස්ථාවේ කරුණු පහදා දෙමින් යෝජනා කළද පැමිණිල්ල සමථ කර ගැනීමට ඇය විරුද්ධත්වය පළ කළාය.

තමන් අනවසරයෙන් අඹ ගෙඩි දහ නවයක් නොකැඩූ බවත් අඹ මාළුවක් සඳහා තමන් අනවසරයෙන් කඩා ගනු ලැබුවේ අඹ ගෙඩි තුනක් පමණක් බවත් සැකකාර කාන්තාව සිය මුල් කටඋත්තරය මඟින් පොලිසියට ප්‍රකාශ කර ඇත.

පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සංජීව මහනාම මහතාගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක එච්.එම්. යසරත්න මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්‍ෂක වාස් ගුණවර්ධන මහතා පෙනී සිටි අතර සැකකාර කාන්තාව වෙනුවෙන් නීතිඥ මදාරා විජේසිංහ මහත්මිය පෙනී සිටියාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon