රුපියල් තුන් කෝටි අසූ හත් ලක්‍ෂයේ වංචා සිද්ධිය වැටුප් විෂය නිලධාරිනියගේ සැමියා සහෝදරයා සහ මිතුරිය යළිත් රක්‍ෂිතයට

  👤  3285 readers have read this article !
By mawbima 2018-09-11

අනුරාධපුර - ආනන්ද කරුණාදාස, අනුරාධපුර - මහේෂ් විජේසූරිය

අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූහත් ලක්‍ෂ අනූහතර දහස් අසූ දෙකක (3,879,482) මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් විෂය භාර නිලධාරිනියත් ආදායම් පාලක ඇගේ සැමියාත් ඇගේ සහෝදරයා සහ ඇගේ මිතුරියක ඇප මත මුදා හරින්නැයි නීතිඥයන් කළ ඉල්ලීමක් අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්ප කුමාර මහතා තරයේ ප්‍රතික්‍ෂේප කළේය.
ඒ අනුව සැකකාරියන් දෙදෙනා සහ සැකකරුවන් දෙදෙනා තවදුරටත් මේ මස 21 වැනි දින දක්වා රිමාන්ඩ් කිරීමට අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

තවදුරටත් රිමාන්ඩ් කළේ මෙම මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකාරිය වන අනුරාධපුර තිසාවැව පදිංචි අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් විෂය භාර නිලධාරිනි ශාලිකා එරන්දි අමරසිංහ, සැමියා වන අනුරාධපුර මහ නගර සභාවේ ආදායම් පාලක සම්පත් අනුරාධ කුමාරසිංහ, ඇගේ සහෝදරයකු වන අනුරාධපුර නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන අසංක ප්‍රසාද් අමරසිංහ සහ අනුරාධපුර මහ නගර සභාවේ සේවය කරන ඇගේ මිතුරියක වන අනුරාධපුර අභයගිරිය පාර කුට්ටම්පොකුණ පදිංචි උඩවත්තේගෙදර ලෝකානන්ද පද්මිණි යන සැකකරුවන් සහ සැකකාරියන් සිවු දෙනාය.

පළමු සැකකාරිය වෙනුවෙන් නීතිඥ රෝහණ ප්‍රේමලාල් මහතා පෙනී සිටි අතර දෙවැනි සහ තුන්වැනි සැකකරුවන් වෙනුවෙන් ජේ‍යෂ්ඨ නීතිඥ චන්දන වීරකෝන් මහතා පෙනී සිටියේය. සිවු වැනි සැකකාරිය වෙනුවෙන් කිසිදු නීතිඥයකු පෙනී සිටියේ නැත.

මෙම මූල්‍ය වංචාව සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් කර සිටින එම මහ නගර සභාවේ වැටුප් විෂය භාර නිලධාරිනි ශාලිකා එරන්දි නමැත්තිය විසින් නගර සභාවට අයත් මුදල්වලින් රුපියල් හැත්තෑ දෙලක්‍ෂයක් (7,200,000) ඇගේ සැමියා වන නගර සභාවේ ආදායම් පාලක සම්පත් අනුරාධ නමැත්තාගේ නමින් ඇති බැංකු ගිණුම් කිහිපයකටත් තවත් රුපියල් විසි ලක්‍ෂ හැත්තෑ හතර දහස් තුන්සිය දෙකක (2,074,302) මුදලක් ඇගේ සහෝදරයකු වන අසංක ප්‍රසාද් අමරසිංහ නමැත්තාගේ නමින් ඇති බැංකු ගිණුමකටත් බැර කර ඇති බව රහස් පොලිසිය මීට පෙර අධිකරණයට දැනුම් දුන්නේය.

තවත් රුපියල් දහනව ලක්‍ෂ විසිපන්දහස් තුන්සිය පහක (1,925,305) මුදලක් අනුරාධපුර මහ නගර සභාවේ සේවිකාවක වන උඩවත්තේගෙදර ලෝකානන්ද පද්මිණි යන අයගේ ගිණුමකටද වැටුප් විෂය භාර නිලධාරිනිය විසින් බැර කර ඇති බවද රහස් පොලිසිය එදින තවදුරටත් අධිකරණයට සැල කළේය. රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි මොහාන් සිරිවර්ධන මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂක බස්නායක මහතා අධිකරණයට කරුණු කීවේය.

මෙම මූල්‍ය වංචාව සිදුව ඇති බව කියනුයේ 2013 වසරේ සිට 2018 වසර දක්වාය. වංචා කර ඇති මුදල රුපියල් තුන්කෝටි අසූ හත් ලක්‍ෂයක් බවට රහස් පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී දැනට හෙළි කරගෙන තිබුණද වංචා කර ඇති එම මුදල රුපියල් කෝටි හතකට ආසන්න බවට විමර්ශන කරන රහස් පොලිසියේ වාණිජ අපරාධ විමර්ශන ඒකකය සැක පළ කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon