අමාත්‍යාංශයක සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස පෙනී සිටිමින් රැකියා පොළක් පැවැත්වූ වංචනිකයන් තිදෙනකු අත්අඩංගුවට

  👤  3178 readers have read this article !
By mawbima 2018-09-11

බත්තරමුල්ල - ඉනෝකා උදයාංගනී , පනාගොඩ - චම්පා ජීවන්ති

මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස පෙනී සිටිමින් එහි ලිපි ශීර්ෂ ඉදිරිපත් කර හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුමැතිය අනුව හෝමාගම විහාරස්ථානයක් තුළ ඊයේ (10දා) රැකියා පොළක් පැවැත්වූ වංචනිකයන් තිදෙනකු හෝමාගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් බත්තරමුල්ල, නුවර හා කිරුළපන පදිංචි වයස අවුරුදු 45,31,34 යන වයස් කාණ්ඩවල පසුවන්නන් බව පොලිසිය කියයි.

හෝමාගම සංවර්ධන කමිටු රැස්වීම ඊයේ (10දා) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වෙමින් තිබියදී ඊට සහභාගි වූ මිනිස් බල හා රැකියා දෙපාර්තමේන්තුවේ නිලධාරියකු මේ පිළිබඳව අදහස් දක්වමින් රාජ්‍ය අනුග්‍රහය ඇතිව ව්‍යාජ රැකියා පොළක් විහාරස්ථානයක පවත්වාගෙන යන බව සඳහන් කර තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය ලේකම් බුද්ධි තරංගා මහත්මිය එම රැකියා පොළේ කටයුතු අත්හිටුවීමට නිලධාරීන් පිටත් කර හැර ඇත.

පසුව මේ පිළිබඳව විහාරාධිපති හිමියන් හා නිලධාරීන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මිනිස් බල හා රැකියා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටි පුද්ගලයකු හා එම දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂ යටතේ ලබාදී තිබූ තොරතුරු මත සැකකාර පුද්ගලයන්ට රැකියා පොළ පවත්වා ගෙන යෑමට අවසර ලබාදී තිබූ අතර ඒ අනුව විහාරාධිපති හිමියන් ඒ සඳහා පන්්සලේ ඉඩකඩ ලබාදී තිබේ.

මෙම රැකියා පොළට ඉදිරිපත් වූ රැකියා අපේක්ෂකයන්ගෙන් කිසිදු මුදලක් අය කර නොමැති අතර රැකියා ලබාගැනීම සඳහා දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරන ලිපිය ලබාගැනීමට රු. 12,000ක පමණ මුදලක් රැකියා අපේක්ෂකයාට ගෙවීමට සිදුවන බව මෙහිදී රැකියාලාභීන් වෙත පවසා ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

රැකියා පොළ පැවැත්වීමට පෙර ඒ සඳහා වූ අයදුම් පත් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් මඟින් රැකියා අහිමිව සිටින තරුණ තරුණියන් වෙත බෙදා හැරීමට කටයුතු කරන ලෙස අදාළ ව්‍යාජ අධ්‍යක්ෂවරයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ග්‍රාම නිලධාරීන් හරහා එසේ අයදුම් පත් 5 බැගින් බෙදාහැර ඇතැයිද පැවැසේ.

මේ පිළිබඳව හෝමාගම ප්‍රාදේශීය ලේකම් බුද්ධි තරංගා මහත්මියගෙන් කළ විමසීමකදී ඇය පැවැසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කාර්යාල මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon