කටාර් රාජ්‍යයේදී සාවද්‍ය මිනිස් ඝාතනයක් සිදු කිරීම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කටුනායක ගුවන් තොටුපළට නියෝග

  👤  3289 readers have read this article !
By mawbima 2018-09-11

මීගමුව - නිමන්ති ප්‍රනාන්දු, හලාවත - ප්‍රසාද් පූර්ණමාල්

සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කටාර් රාජ්‍යයේදී ගෙල සිරකරගෙන මියගොස් ඇතැයි කියන ලද අයකුගේ මරණ පරීක්ෂණය සිදුකළ මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා කටුනායක ගුවන් තොටුපළට නියෝග කළේය.

මියගොස් ඇත්තේ මිල්ලගස්යාය ආණමඩුව පදිංචි ඩී.ටී. රංජිත් (41) නමැති දෙදරු පියෙකි.
මොහු විදේශ රැකියාවට ගොස් ඇත්තේ 2016.07.24 වැනි දිනයි. වසර දෙකක සේවා ගිවිසුමක් යටතේ මොහු කටාර් බලා ගොස් තිබේ. මොහු වසර දෙකක සේවා ගිවිසුම නිම කර මෙරටට පැමිණීමට නියමිතව තිබියදී මේ අවාසනාවන්ත සිදුවීම වී තිබේ.

වැඩි පොලියට ලබාගත් ණය මුදලකින් රුපියල් 135,000ක මුදලක් මෙරට ඒජන්සියට ලබාදී ඩී.ටී. රන්ජිත් මහතා මේ රැකියාව ලබාගෙන තිබේ. එහිදී රියාල් 1100ක මුදලක් වැටුප වශයෙන් මාසිකව ලබා දෙන බව ඒජන්සිය ප්‍රකාශ කර ඇතත් එය නිසි පරිදි ලැබී නොමැත. රන්ජිත් පසුගිය 13 වැනි දින බිරිය අමතා ප්‍රකාශ කර ඇත්තේ තමනට හිරිහැර කිරීමට ලංකාවේ දෙදෙනකු සූදානම් වන බවයි. ඒ දෙදෙනාගේ නම් විස්තර රැසක් හා ඡායාරූප කීපයක්ද අන්තර්ජාලය ඔස්සේ රන්ජිත් සිය බිරිය වෙත එවා තිබේ.

"මට රන්ජිත් අන්තිමට කතා කළේ අගෝස්තු 18 වැනිදා. ඒ වෙලාවේ වැඩි කතාබහක් සිදුවුණේ නැහැ. රෑට ගන්නම් කියලා තිබ්බා. නමුත් කතා කළේ නැහැ. දුරකථනය වැඩ කළෙත් නැහැ. දවසකට පස්සේ මම මෙයත් එක්කම ඉන්න ආණමඩුවේ අමිලගේ ගෙදරට ගියා. ඒ වෙලාවේ අමිලට දුරකථනයෙන් කතා කරන්න මට බැරි වුණා. මම පසුදාත් ගියා.
එදා තමයි කිව්වේ මගේ මහත්තයා නාන කාමරේ එල්ලිලා මැරිලා කියලා. මේ කතාව මට විශ්වාස කරන්න බැහැ. මොකද එයා මට 13 වැනිදා කිව්වනේ එයා කන බත් එකටත් නිදිපෙති දාලා තිබුණා කියලා. මට එයත් එක්ක එකට කාමරේ හිටපු අය පිළිබඳ සැකයක් තියෙනවා. මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන්න කියලා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අපි ඉල්ලීමක් කළා. මට දැන් මහත්තයාගේ මිනිය එවලා තියනවා. එහෙ විධිමත් පරීක්ෂණයක් කරලා නැහැ. මට මේ මරණය සැකයි කියලා තියෙද්දිත් තානාපති කාර්යාලය මේ මරණය සැක නැහැ කියල තියෙනවා. ඒ සියලු දෙනා අධිකරණයට කැඳවන්න කියලා මම ඉල්ලනවා.

සුදර්ශනි නීලකාන්ති මහත්මිය

මේ මැරිලා තියෙන්නේ අක්කගේ මහත්තයා. මේ මරණයට ලංකාවේ ඒජන්සියත්, කටාර් කම්පැනියත් කාමරේ හිටපු ලංකාවේ කීපදෙනාත් වගකිව යුතුයි. දැන් පැහැදිලිවම දීලා තියෙනවා මේක ඝාතනයක් කියලා. පොලිසිය මේ මරණ පරීක්ෂණයේදී අපිව බය කළා.

අපිව හිරේ දානවා කිව්වා. අපිද මෙයාව මරා ගත්තේ. අපි රජයෙන් ඉල්ලනවා මේකට වගකිවයුතු සියලු දෙනා ලංකාවට ගෙනැල්ලා නීතියට ඉදිරිපත් කරන්න කියලා. විදේශ රටවලට යද්දී ආයතන ගොඩක් ඒ ගැන බලනවා. එහෙ ගිහින් අපා දුක් විඳලා මේ වගේ දෙයක් වුණාම කිසි ආයතනයක් නැහැ.

මියගිය අයගේ සහෝදරියක වන බලබෝව දෙවලපොළ පදිංචි සිංහ දේවගේ ප්‍රියංගිකා නමැත්තියද තම සහෝදරයාගේ මරණය සැක සහිත බව මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් පැවසුවාය. මීගමුව දිසා මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජී.කේ. විජේවර්ධන මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා රැහැනකින් ගෙල සිරකිරීම නිසා සිදු වූ මරණයක් ලෙස සිය වාර්තාවෙන් සඳහන් කර ඇත.

එම වාර්තාව හා සාක්කි සැලකිල්ලට ගෙන මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා පණ අඩපණ කර රැහැනකින් ගෙල සිරකිරීම නිසා සිදුවූ මරණයක් ලෙස සිය තීන්දුව ප්‍රකාශයට පත්කර වැඩිදුර පරීක්ෂණය සඳහා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කටුනායක ගුවන් තොටුපළ පොලිසියට නියෝග කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon