රුපියල් ශත සොයන්නට වැලි කතරට ගිය සන්ධ්‍යාට එය මරුකතරක් වූයේ ඇයි?

  👤  3249 readers have read this article !
By mawbima 2018-09-11

"මම මේ ගෙදර හැමෝම එක්ක දවස් දහයක ටි්‍රප් එකක් යනවා" කියලා ගොඩක් සතුටින් කියපු සන්ධ්‍යා ඊට දවස් දෙකකට පස්සේ අපි හැමෝම දාලා යන්නම යන්න ගිහිල්ලා" යැයි ඕමාන් රටේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කරන අතරතුර හදිසියේ ජීවිතයෙන් සමුගත් සන්ධ්‍යා කුමාරිගේ සැමියා වන සරත් විජේරත්න මහතා පැවැසීය.

කුරුණෑගල මැල්සිරිපුර ඕමාරගොල්ල පරගහඇළ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි තිදරු මවක් වන ඩබ්ලිව්.පී. සන්ධ්‍යා කුමාරි මහත්මිය ගෘහ සේවිකා රැකියාවක් සඳහා ඕමාන් රටට ගොස් ඇත්තේ 2017 ජනවාරි 12 වැනි දිනය. ඒ ගලේවෙල නගරයේ පිහිටි විදේශ රැකියා ආයතනයක් මඟිනි.

ඕමාන් රටට ගිය සන්ධ්‍යා මහත්මිය තමන්ට ඉතා හොඳ ස්වාමි දරුවන් සිටින නිවෙසක ගෘහ සේවිකා රැකියාවක් ලැබුණු බවත් තමන් සතුටින් සිටින බවත් ප්‍රකාශ කළ බව ඇගේ සැමියා පවසයි.

අවස්ථාව ලද සෑම වේලාවකම තමන්ට දුරකථන ඇමතුම් ලබාදුන් සන්ධ්‍යා තමන් ආපසු එනතුරු දරුවන් හොඳින් රැකබලා ගන්නා ලෙස කියූ බවද ඔහු කීය.

මෙසේ දින සති මාස ගෙවී යද්දී ඉකුත් ජූලි 28 වැනිදා සියලු දේ උඩුයටිකුරු විය. එදින උදෑසන සන්ධ්‍යා විදෙස්ගත කළ ගලේවෙල විදේශ රැකියා ආයතනයෙන් සරත් විජේරත්න මහතාට ඇමතුමක් ලැබිණි.

එයින් කියැවුණේ හදිසි රිය අනතුරකින් සන්ධ්‍යා මහත්මිය මියගොස් ඇති බවය. ඇයගේ දේහය ලංකාවට ගෙන්වා ගැනීමට කොළඹ යෑමට පැමිණෙන ලෙසද දන්වා සිටියේය.
වහා ක්‍රියාත්මක වූ සන්ධ්‍යාගේ සැමියා සිය ඥාතීන්ට ද දන්වා විදේශ රැකියා ආයතනයේ සේවකයන් සමඟ කොළඹ යෑමට පිටත් විය.

එම ගමනේදී සිය බිරිය විදේශ රැකියාවට යවා ඇත්තේ ගලේවෙල විදෙස් රැකියා ආයතනය නොවන බවත් ඔවුන් කුරුණෑගල පිහිටි වෙනත් විදේශ රැකියා ආයතනයක් හරහා ඇයව ඕමාන් රටට යවා ඇති බවත් තමන්ට අනාවරණය වූ බව සරත් විජේරත්න මහතා පවසයි.

එමෙන්ම රිය අනතුරකින් සන්ධ්‍යා මියගිය බව මුලින් පැවැසූ ගලේවෙල විදෙස් රැකියා ආයතනයේ නිලධාරීන් කොළඹට ආසන්න වෙද්දී ඇය මියගොස් ඇත්තේ වැලි කුණාටුවකට හසුව බව ප්‍රකාශ කළ බවද ඔහු සඳහන් කරයි.

එම අවාසනාවන්ත අත්දැකීම පිළිබඳව "මව්බිම"ට අදහස් දැක්වූ මියගිය සන්ධ්‍යා කුමාරිගේ සැමියා වන එස්.කේ. සරත් විජේරත්න මහතා මෙසේ ද කීවේය.

මම සන්ධ්‍යා කසාද බැඳලා දැන් අවුරුදු 24ක් වෙනවා. අපි දෙන්නා ආදර සම්බන්ධයකින් කසාද බැන්දේ. එතකොට එයාට වයස 17යි. මම මේසන් වැඩ කරන්නේ. බැන්දට පස්සේ අපි දෙන්නා පුළුවන් ධෛර්ය අරගෙන ජීවත් වුණා.

අපිට දරුවෝ තුන්දෙනෙක් ලැබුණා. ලොකු දරුවා විවාහ වෙලා. දෙවැනි දරුවා හදිසියේ මියගියා. තුන්වැනියා තාම ඉගෙන ගන්නවා.

එහෙම ඉන්න අතරේ තමයි සන්ධ්‍යා රට යන්න තීරණය කළේ. එයාට ඕන වුණේ මේ ගෙදර හොඳට හදාගෙන බාල දරුවට හොඳට උගන්වන්න. ගලේවෙල ඒජන්සියක් හරහායි සන්ධ්‍යා ඕමාන් රටේ රැකියාවකට ගියේ.

රට ගිය දවසේ ඉඳලා හැමදාම සන්ධ්‍යා මට කතා කරනවා. එයා සතුටින් හොඳින් ඉන්නවා කියලා කියනවා. එයා මට කතා කරන්නේ "දෙයියෝ" කියලා. වෙලාවකට මහ රෑ කතා කරලා මට නිද්ද යන්නේ නෑ මගේ දෙයියෝ ඔයාලව මතක් වෙනවා කියලා කියනවා.

ඒ අතර ගිය ජූලි 26 වැනිදා සන්ධ්‍යා මට කීවා අපි දවස් 10ක ටි්‍රප් එකක් යනවා ගෙදර හැමෝම කියලා. මම කීවා පරිස්සමින් යන්න කියලා. හා මම පරිස්සම් වෙන්නම් ඔයත් පරිස්සමට ඉන්න කියලා එයා කීවා. ඊට පස්සේ 28දා උදේ එයා මට කතා කරලා කීවා ටි්‍රප් එක ඇවිල්ලා ඉන්නේ දෙයියෝ කියලා. එයාලා තේ බොන්න නතර වෙලා හිටියේ මට එයාගේ ෆෝන් එකෙන් එයාලා ඉන්න තැන පෙන්නුවා. ලස්සනයි නේද කියලා ඇහුවා. මම කිව්වා ඔව් කියලා. ඒ තමයි මගේ සන්ධ්‍යා මට කතා කරපු අන්තිම වතාව.

28 වැනිදා දවල් මට ගලේවෙල ඒජන්සියෙන් කෙනෙක් කතා කළා. එයා කීවා කලබල වෙන්න එපා සන්ධ්‍යාට කරදරයක් වෙලා කියලා. වාහන අනතුරක් කියලා තමයි කීවේ. මම කීවා මොකද සන්ධ්‍යාට වෙලා තියෙන්නේ කියලා. එතකොට කීවා එයා නැතිවෙලා කියලා. මට ඒක හීනයක් වගේ.

ඒජන්සියෙන් මට කීවා සන්ධ්‍යාගේ මිනිය ගේන්න කොළඹ යන්න වෙනවා ලෑස්ති වෙන්න කියලා. මට ඒ කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා. කරන්න දෙයක් නැති හින්දා මම එයාලා එක්ක කොළඹ එන්න පිටත් වුණා. ඒත් මගේ හිත මට කීවා මේක වැරැදීමක් වෙන්න ඇති දැන් කොයි මොහොතෙ හරි එයා මට කතා කරයි කියලා. මම දිගටම එයාගේ ෆෝන් එකට ගත්තත් වැඩ කළේ නැහැ.

ඒ එන අතරේ ඒජන්සියේ අය මට කීවා සන්ධ්‍යා රට යැව්වේ එයාලා නෙවෙයි කුරුණෑගල ඒජන්සියක් හරහා කියලා. ඒ වෙලාවේ තිබුණු මානසික මට්ටම නිසා මට ඒවා නිච්චියක් නැති වුණා.

කොළඹ ආවම එයාලා මට කීවා සන්ධ්‍යා වැලි කුණාටුවකට අහුවෙලා මැරිලා තියෙන්නේ කියලා. බය වෙන්න එපා අපි සන්ධ්‍යාගේ මිනිය ගේන්න හැම දෙයක්ම කරනවා. එයා වෙනුවෙන් කරන්න පුළුවන් සේරම කරනවා කියලත් කිව්වා.

එයාලා මගෙන් මොනවද ලියකියවිලි වගයකට අස්සන් ගත්තා. ඊට පස්සේ මරණෙට ලෑස්ති වෙන්න කියලා මාව ගෙදර ගෙනැල්ලා දාලා ගියා. අගෝස්තු 12 වැනිදා මගේ සන්ධ්‍යාගේ මිනිය ගෙදරට ගෙනාවා. කොළඹින් එයාගේ මරණ පරීක්ෂණය කරලා ඒකෙ වාර්තාව මට දුන්නා. ඒකෙ තියෙන්නේ හිසට සිදුවූ තැළීමක් හේතුවෙන් සිදුවූ මරණයක් කියලා.

මට මේ මුකුත් තාමත් හිතාගන්න බැහැ. එදා උදේ යස අගේට කතා කරලා වීඩියෝ කෝල් ගත්ත මගේ අහිංසක සන්ධ්‍යාට මේ මොකද වුණේ. මට මේ මරණය ගැන ගොඩක් සැකයි. ඒත් මම මේක කාට කියන්නද..?

සන්ධ්‍යාගේ මරණෙ කටයුතු ඉවර වෙලා මම ඒජන්සියේ දුරකථන අංකයට කතා කළා. ඒත් ඒක උස්සන්නේ නෑ. දැන් දවස් ගාණක් මම ගන්නවා. ෆෝන් එක රිං වුණාට කතා කරන්නේ නෑ.

සරත් විජේරත්න එසේ කියමින් අප දෙස බලා දිගු හුස්මක් හෙළීය. ඔහුගේ ඇස් කෙවෙනි අග කඳුළු දිදුලමින් තිබෙනු අප දුටුවෙමු.

ඔයාට දැන් මොනවද ඕන. සන්ධ්‍යාගේ මරණෙ වෙනුවෙන් වන්දියක් ඕනද අපි ඇසුවෙමු.
මහත්තයා මගේ අහිංසක සන්ධ්‍යා නැතිව සල්ලිවලින් වැඩක් තියෙනවාද. අවුරුදු 17දී සන්ධ්‍යා මම එක්ක ආවේ එයාගේ මුළු ලෝකයම අත්හැරලා. එදා ඉඳලා එයාගේ ලෝකේ වුණේ මාව. දරුවෝ ලැබුණට පස්සේ මාවයි දරුවොයි. එයා රට ගියෙත් මම දුක් විඳිනවා බලන්න බැරිව. මට සල්ලි නෙවෙයි ඕන. දැන් මගේ සන්ධ්‍යා අපිව දාලා ගිහින් ඉවරයි. ඒත් එයා මැරුණේ කොහොමද. මට ඒකයි දැනගන්න ඕන. සන්ධ්‍යා මැරුණේ වැලි කුණාටුවකින් නෙවෙයි කියලා මගේ හිත හැම වෙලාවෙම කියනවා. මට දැනගන්න ඕන ඇත්ත ඒකයි.

ඔහු ගොත ගසමින් වචන සෙව්වේය. අපිට වතුර එකක් දෙන්න පුළුවනිද බොන්න. තව දුරටත් ඔහු අපි ඉදිරියේ අසරණ වනු බලා සිටිය නොහැකි තැන අපි ඉල්ලා සිටියෙමු.
සරත් විජේරත්න පිටි අල්ලෙන් ඇස් පිසදමා ගෙතුළට ගියේය. ඒ ඇසිල්ලකින් සරත්ගේ බාල පුතු චාමර සම්පත් අප වෙත ආවේය. මාමේ තාත්තා හැමදාම හොරෙන් අඬනවා. මම දැක්කම මූණ හංග ගන්නවා. සමහර දාට රෑට නැඟිටලා හොරෙන් එළියට යනවා. මම දවස් ගාණක් තාත්ත පස්සෙන් ගිහින් බැලුවා. එයා අපිට හොරෙන් අහස දිහා බලාගෙන අඬනවා.

කුඩා චාමර කාටත් හොරෙන් අපට කේළමක් කීවේය. මම දැන් දන්නවා අපේ අම්මා මැරිලා. ආයෙ කවදාවත් අම්ම අපි ළඟට එන්නේ නෑ. අනේ මාමේ තාත්තට කියන්න ආයේ අඬන්න එපා කියලා. චාමර අපෙන් ඉල්ලා සිටියේය.

වතුර ජෝගුවක් රැගෙන සරත් අප වෙත ආවේය.

ජීවිතේ හැටි ඔහොම තමයි. දැන් ඉතින් හිත හදාගන්න බලන්න. අපි චාමර වෙනුවෙන් එම ඉල්ලීම කළෙමු.

මම දුක් වෙන්නේ නෑ මහත්තයා. මගේ හිත හොඳ හයියයි. එසේ කියමින් සිනහසීමට උත්සාහ කළද සරත් විජේරත්නගේ හයියෙන් ඉකිගසන සිත ඒ දිලිසෙන ඇස් දෙකෙන් අපට පෙනුණි.

අපේ රටේ ආර්ථිකය හසුරුවන ප්‍රධාන බලවේගයක් වන්නේ විදේශ විනිමයයි. එම විදේශ විනිමයෙන් වැඩි කොටසක අයිතිය දරන්නේ මැද පෙරදිග රැකියාවකට ගොස් දහදුක් විඳින අපේම සහෝදර සහෝදරියන්ගෙනි.

නමුත් රටට විදේශ විනිමය ඉපැයීමට ගිය සන්ධ්‍යා වැනි කතුන් පිළිබඳව වගකීමක් ඇත්තේ කාටද..? ඇයව රට යැවූ ගලේවෙල විදේශ රැකියා ආයතනයට සන්ධ්‍යා යනු තවත් එක් විකුණුම් භාණ්ඩයක් පමණි. ඔවුන්ට සන්ධ්‍යාගේ හදිසි මරණය වගක් නැත. සන්ධ්‍යා නැති පාඩුව ඇත්තේ සරත් ඇතුළු දරුවන් දෙදෙනාටය. සන්ධ්‍යාගේ ඥාතීන්ටය.

සාමාන්‍යයෙන් විදෙස් රැකියාවට යන ලාංකිකයන් සියලු දෙනා රක්ෂණය කරන බව අප අසා ඇත්තෙමු. එය ඇත්තක් නම් සන්ධ්‍යාට රක්ෂණ වන්දියක් හිමිව තිබිය යුතුය. එය ලබාදීම සහ සන්ධ්‍යාගේ මරණයෙහි ඇත්ත නැත්ත අනාවරණය කර ගැනීම ඇය විදෙස්ගත කළ විදේශ රැකියා ආයතනයෙහි ප්‍රබල වගකීමකි.

නමුත් කනගාටුවට කරුණ එය එසේ සිදු නොවීමයි. අපේ රටේ විදේශ රැකියා වෙනුවෙන් මහජන මුදලින් යැපෙන ඇමැතිවරයෙක් සිටී. නියෝජ්‍ය ඇමැතිවරයෙක්ද සිටී. විදේශ සේවා නියුක්ති කාර්යාංශයක්ද ඇත. රුපියල් ශත සෙවීමට අෑත වැලි කතරට ගිය සන්ධ්‍යාට එය මරු කතරක් වූයේ මන්ද යන්න සෙවීම ඔවුන්ගේ වගකීම නොවන්නේද..?

යන්තම්පලාව - විජේසිංහ වැලිකන්ද

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon