සූර්ය බල සංගමය වෙනුවෙන් දෙනු ලබන ඇ.ඩො. මිලියන 50ක ණය මුදල මෙරටට අහිමි කරවන්න අදිසි හස්තයන් කීපයක් ක්‍රියාත්මකයි - සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති

  👤  3204 readers have read this article !
By mawbima 2018-09-11

හර්ෂනී අර්සකුලරත්න

සූර්ය බල සංග්‍රාමය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් දීමට එකඟ වී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය මුදලක් සිය පෞද්ගලික වාසි තකා මෙරටට අහිමි කරවීමට ආයතන කිහිපයක අදිසි හස්තයන් කිහිපයක්ම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති කීර්ති වික්‍රමරත්න 'මව්බිම'ට පැවැසීය.

මීට වසර 1 1/2කට පමණ පෙර ආසියානු සංවර්ධන බැංකුවෙන් එම ණය මුදල ඉල්ලුම් කළ බවත් පසුගිය වසරේ සැප්තැම්බර් 26 වැනිදා එම ණය මුදල අනුමත වුවද විදුලිබල පනතේ ගැටලුවක් පෙරට ගෙන එමින් එම ණය මුදල මේ වන තුරුත් ලබා නොගෙන ඇතැයි ඔහු පැවැසුවේය. මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 50 මෙරටට හිමි වූයේ නම් එමඟින් මෙගාවොට් 50ක පමණ විදුලි ජනනයක් සූර්ය පැනල හරහා කළ හැකි වනු ඇති බවද එය වසරකට රුපියල් මිලියන 2600ක පමණ ඉතිරියක් බවද හෙතෙම පැවැසීය. එම ණය මුදල මෙරටට හිමි වුවහොත් සූර්ය බල සංග්‍රාමයේ පියසි මිලියනයක අරමුණ කරා යෑම පහසු කරවන බවත් එම ණය මුදලෙන් තවත් පියසි විසිදහසක් හා තිස් දහසක් අතර ප්‍රමාණයකට සූර්ය පැනල සැපයිය හැකි වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ ණය මුදල ලබාගෙන සූර්ය පැනල විසි තිස් දහසක් රට පුරා ව්‍යාප්ත කිරීමෙන් අත්වන ප්‍රතිලාභ අතර විදුලි ජනනයේදී වසරකට පරිසරයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් වැනි විස වායු ටොන් හැත්තෑපන් දහසක විමෝචනයක් නවතාලිය හැකි බවද සභාපතිවරයා කීවේය. ලංවිම එම විදුලිය රුපියල් 19.82ක් වැනි අවම මිලකට වසර 20ක් පුරාම මිලදී ගන්නා අතර එය වෙනත් විදුලි මිලට ගැනීමේ හා සැසඳීමේදී අවම මට්ටමක පැවැතීමද රටට වැඩි ආර්ථික ඉතිරියක් දෙන බව සඳහන් කළ යුතු යැයිද ඔහු පැවැසුවේය.

පුනර්ජනනීය බලශක්ති පනත සහ ලංවිම විදුලි බල පනත අතර මේ සඳහා නීතිමය බාධාවක් ඇතැයි සුනිත්‍ය බලශක්ති අධිකාරියේ විශ්වාසය නොවන බවත් එවැනි නෛතික බලපෑමක් ඇත්නම් වගකිවයුතු බලධාරීන්ගේ වගකීම විය යුත්තේ රටකට අහිමි වන්නට යන මේ සුවිශේෂී ආර්ථික වාසියට පයින් නොගසා එය ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීම බවත් ඔහු තරයේ ප්‍රකාශ කෙළේය.

සිය පෞද්ගලික වාසි ප්‍රයෝජනය තකා පිරිසක් මෙසේ ක්‍රියාත්මක වීම අනුමත කළ නොහැකි බවද ඔහු කීය.

කෙසේ වෙතත් එම ණය මුදල ලබා ගැනීමට දී ඇති අවසන් දිනය මේ මස 27 වැනිදායින් අවසන් වීමට නියමිතය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon