ගිං-නිල්වලා අක්‍රමිකතා යළි සොයා බලනවා

  👤  3276 readers have read this article !
By mawbima 2018-09-11

ගිං - නිල්වලා ව්‍යාපෘතියේ සිදුවූවා යැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතාවන් පිළිබඳ වත්මන් රජය යටතේද නැවත පරීක්ෂණයක් ආරම්භ කිරීමට සිදුවනු ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ගිං - නිල්වලා වාරිමාර්ග ව්‍යාපෘතියේ සිදුවූ අක්‍රමිකතා පිළිබඳ, මේ වනවිට සිදුවන පරීක්ෂණවල පවතින දැඩි ප්‍රමාදය සහ මන්දගාමී තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණයට එළැඹීමට සිදුවනු ඇතැයි සඳහන් කළ ජනාධිපතිවරයා කෙසේ නමුත් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේ වගකීම පැවැරී ඇති ආණ්ඩුවේ සියලු දෙනාද සිය දේශපාලන වටිනාකම් ආරක්ෂා කරගෙන කටයුතු කළයුතු බවට තමා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බවද කියා සිටියි.

හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කයන්හි සංවර්ධනයේ නව පරිවර්තනයක් සිදුකෙරෙන සහ එම දිස්ත්‍රික්කයන්හි ගොවි ජනතාවගේ අපේක්ෂාවක් වූ ගිං - නිල්වලා ව්‍යාපෘතිය ඉතා අවශ්‍ය බවට වූ ප්‍රතිපත්තිය තුළ රජය කටයුතු කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10දා) පෙරවරුවේ හම්බන්තොට, මාගම්පුර, රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී හම්බන්තොට ගොවි ජනතාව සමඟ පැවැති හමුවකදීය.

රට තුළ වගා කළ හැකි ආහාර බෝග, විවිධ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස පාරිභෝගික වාර්තා ඉදිරියට දමමින් පිටරටින් ගෙන්වීම වහාම නතර කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇති කරමින් ගොවි ආර්ථිකය නඟාසිටුවීම වෙනුවෙන් රජය ගෙනයන පුළුල් වැඩසටහන පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීය.
ගොවි ජනතාවගේ ගැටලු ඇතුළත් සන්දේශයක්ද ජනාධිපතිවරයා වෙත භාර කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon