'ජන බලය'ට විස කිරි පැකට් දුන්නේ රාජ්‍ය ආයතනයක වාහනයකින්

  👤  3294 readers have read this article !
By mawbima 2018-09-11

උදයන්ති මුණසිංහ

'ජන බලය' කොළඹට උද්ඝෝෂණය අතරතුරදී උද්ඝෝෂකයන්ට විස කිරි පැකට් බෙදා දී ඇත්තේ රජයේ ආයතනයකට අයත් ව්ච් 3094 දරන වාහනයකින් බව සාක්කි සහිතව ඔප්පු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ අවධාරණය කළේය.

එම රජයේ ආයතනයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයාගේ උපදෙස් පරිදි මේ වාහනය ලබාදී තිබෙන බවත් එහි ධාවන සටහනට අනුව උද්ඝෝෂණය පැවැති පසුගිය 5දා එම වාහනය නාරාහේන්පිට, 'සිරිකොත' කාර්යාලයට සහ බත්තරමුල්ල ප්‍රදේශයට ගොස් අවසානයේ රථ ගාලට පැමිණ තිබෙන බවත් ඔහු පැවැසුවේය.

මේ චෝදනාව සම්බන්ධයෙන් විෂය භාර ඇමැති විජිත් විජයමුණි සොයිසා විසින් වහා පරීක්ෂණයක් කොට සත්‍ය හෙළිදරව් කළ යුතු බවත් අමාත්‍යවරයාට එසේ කළ නොහැකි නම් වහා ඉල්ලා අස්විය යුතු බවත් ඔහු තවදුරටත් අවධාරණය කළේය.

අදාළ වාහනය ගමන් කළ ප්‍රදේශවල සීසීටීවී දර්ශන පවා ලැබී ඇති අතර ධාවන සටහනට අනුව අවසානයේ මේ වාහනය බත්තරමුල්ල ප්‍රදේශයට ගමන් කොට ඇති බවත්, ඒ අනුව බත්තරමුල්ල ප්‍රදේශයේ ස්ථානයකින් විසිකරන ලද කිරි පැකට් තොගයක් හමුවීමෙන්, එම වාහනය බත්තරමුල්ල ප්‍රදේශයට ගිය හේතුව හෙළිවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

අදාළ දිනයේ එම වාහනයේ නීත්‍යනුකූල රියැදුරා ඉවත් කොට වෙනත් රියැදුරකු එයට අනුයුක්ත කොට කිලෝමීටර් 40ක් පමණ දුරක් එදින මෙම වාහනය ගමන් කර ඇති බවද ඔහු පැවැසුවේය.

රජයේ වාහනයක් යොදාගෙන ජනතාව අගතියට පත් කිරීමට, හිතාමතාම සිදුකළ මේ පහත් ක්‍රියාව තරයේ හෙළා දකින අතර ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ තානාපති කාර්යාලවලට මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය ඊයේ (10දා) බොරැල්ලේ පිහිටි එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම මෙම සිද්ධියට අදාළව 'පොලිස්පති සහන මැදිරියටද' මාතර ප්‍රදේශයේ පදිංචිකරුවකු පැමිණිල්ලක් කර තිබේ.

ඒ අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග මත කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ අධීක්ෂණය මත විමර්ශනයක් ආරම්භ කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon